වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉකුත් අප්‍රේල් 29 වනදා අළුයම් කාලයේ හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ පැවැත්වූ සාදයක් අතරතුරදී සිදු වූ ඝාතනයකට අදාල සැකකරුවයි. එහිදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබිමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලැබුවා. ඒ සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා. ඒ අනුවයි පානදුර, හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේදී පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අපරාධයේ සැකකරුවන්ට නවාතැන් පහසුකම් ලබාදීම සහ පලා යාමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරු වයස අවුරුදු 40ක් වන මොරවින්න, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.