ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක් විසින් පහර දුන් බව කියන පොලිස් නිලධාරියාගේ මුත්‍රා සාම්පල්වල මත්ද්‍රව්‍ය සාන්ද්‍රනය නොමැති බවට අනාවරණ වී තිබෙනවා.

කෙසේවෙතත් පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ප්‍රශ්වාස වාතයේ ඇල්කොහොල් ගඳ වහනය වන බවට අදාළ පොලිස් නිලධාරියාගේ වෛද්‍ය වාර්තාවේ සටහන්ව ඇති බවයි.

ඒ අනුව නිලධාරියාගේ රුධිරයේ සාම්පල් ලබා ගෙන මත්පැන් භාවිත කර සිට ඇද්ද යන්න පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත යොමු කිරීමට කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවද පොලීසිය පැවසුවා.

පසුගිය 20 වැනි දින රාත්‍රී 08.40ට පමණ සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලැබූ පොලිස් කොස්තාපල්වරයා ඔහුගේ රාජකාරි නිම කර නිවසට යමින් සිටියදී කළුගල පන්සල අසලදී අදාළ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් තමාට පහරදී යතුරුපැදිය පැහැරගෙන ගිය බවට එම නිලධාරියා විසින් පැමිණිල්ලක් කර තිබුණා.

එදින රාත්‍රී 10.10ට පමණ ජාතික ජනබලවේග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා විසින් ද කළුගල සිට හල්වින්න දෙසට කැබ් රථෙයන් ගමන් කරමින් සිටියදී සූරියකන්ද පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු ඔහුගේ යතුරුපැදිය හරස් කර තම කැබ් රථය නවතා මාර්ගය අවහිර කර පහරදීමට තැත් කළ බව දන්වමින් කොළොන්න පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.

එමෙන්ම පොලිස් කොස්තාපල්වරයාගේ යතුරුපැදිය කළුගල පන්සල අසල මාර්ගයේ තිබී කොළොන්න පොලිස් භාරයට ගෙන ඇති අතර අදාළ පොලිස් නිලධාරියා කොළොන්න රෝහලට ඇතුළත් වීමෙන් පසු ඇඹිලිපිටිය රෝහල වෙත මාරු කර යවා ඇති බවත් පොලීසිය සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

එම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පාර්ශවය පැවසුවේ අදාළ පොලිස් නිලධාරියා බීමතින් සිටි බවයි. කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් එම පොලිස් කොස්තාපල්වරයා ප්‍රකාශ කර තිබෙනුයේ මන්ත්‍රීවරයාගේ පාර්ශවයෙන් නීති විරෝධී මත්ද්‍රව්‍ය අඩංගු පැකට්ටුවකින් තමන්ගේ මුහුණට ගැසූ බවයි.