මැදපෙරදිග උත්සන්න වන ආතතීන් හේතුවෙන් ලන්ඩන් ඇතුළු යුරෝපීය ගුවන් ගමන්වල වෙනස්කම් සිදු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසනවා.
ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමග මතුවෙමින් පවතින යුද උණුසුම හේතුවෙන් මැදපෙරදිග කලාපයේ ඇතැම් ප්‍රදේශවල ගුවන් අවකාශ වසා දමා තිබෙනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස, ගැටුම් කලාපය මඟ හැරීම සඳහා මෙම මාර්ග වෙනස්කම් සිදු කරන බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළේ.
ඒ අනුව යුරෝපා කලාපයේ ගුවන් ගමන් කාලය වැඩි වී ඇති බවද ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළා.
අද දිනයේ ලන්ඩන් සිට කොළඹට පැමිණෙන ඹඛ 504 ගුවන් යානයේ එම ගුවන් ගමන වෙනස් කිරීම හේතුවෙන් ඉන්ධන පිරවීම සඳහා දෝහා ගුවන් තොටුපොල වෙත හරවා යවා ඇති අතර කොළඹ සිට පැරීසිය බලා ගමන් ගන්නා ඹඛ 501 දරන ගුවන් යානය ද වෙනත් ගුවන් මාර්ගයක් ඔස්සේ හරවා යැවූ බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
මේ අතර ඊශ්‍රායල ගුවන් සීමාව සහ ටෙල් අවිව් ගුවන් තොටුපොළ නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇති බව ඊශ්‍රායලේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.
ඒ හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීම සහ ශ්‍රී ලංකාව බලා පිටත්ව යෑම නැවත දැනුම් දෙනතුරු පමා කරන ලෙසයි එරට තානාපති කාර්යාලය දැනුම් දෙන්නේ.
ඊශ්‍රායලය පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර සියලු කාර්යාලය හා වැඩබිම්වල කටයුතු ද නවතා දමා ඇති බව එරට තානාපති කාර්යාලය පවසනවා.
මේ හේතුවෙන් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට සිය ආරක්ෂාව සලසා ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇති අතර සතුරු පාර්ශ්වයන්ගෙන් එල්ල විය හැකි ප්‍රහාර හමුවේ ආරක්ෂිතව සිටින ලෙසටද එරට වෙසන ශ්‍රී ලාංකිකයින්ට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් දැනුම් දී තිබෙනවා.