කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව යාමට තීරණය කළා.

ඒ, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අදහස් ප්‍රකාශ කිරීමට කතානායකවරයා ඉඩ නොදීමට විරෝධය පළ කරමින්.

ඊශ්‍රායලය සහ ඉරානය අතර මතුව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් එම රටවල්වල වෙසෙන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ආණ්ඩු පක්ෂයෙන් කරුණු විමසීමට උත්සහ දැරූ අවස්ථාවේදී කතානායකවරයා ඊට අවස්ථාව ලබා දුන්නේ නැහැ.

ඉන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට උත්සහ ගත් අවස්ථාවේදී කතානායකවරයාගෙන් ඊට අවස්ථාව හිමි වුණේ නැහැ.

 

ඉන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වුවා.

ඉන් අනතුරුව යළි නැඟී සිටි විපක්ෂ නායකවරයා ඒ සම්බන්ධයෙන් නැවතත් අදහස් දැක්වූ අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාද ඊට මැදිහත් වුණා.

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතාද ඉන් අනතුරුව අදහස් පළ කළා.

මෙම සංවාදයෙන් අනතුරුව විපක්ෂ නායකවරයා ඇතුළ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හා ඇතැම් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් ඉවත්ව ගිය බවයි නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත් විපක්ෂය නියෝජනය කරන ඉලංකෛයි තමිල් අරුසු පක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භයේ රැඳී සිටි බව නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවා.