තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා තවත් රසායන ද්‍රව්‍ය බවට සැකකෙරන ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

ඒ, ප්‍රදේශවාසින්ගෙන් ලැබුණ තොරතුරකට අනුව තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් පිරිසක් විසින් නෙටොල්පිටිය වැලිවැන්න හරස් මාවතට යාබදව පිහිටි ඉඩමක සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.

එහිදී අදාළ ඉඩමේ තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායන ද්‍රව්‍ය බවට සැකකෙරෙන සුදු පැහැති රසායන ද්‍රව්‍ය තොගයක් සොයාගත් බවයි තංගල්ල පොලිසිය පැවසුවේ.

මෙම රසායනික ද්‍රව්‍ය මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ ඉඩමෙන් සොයා ගත් රසායනික ද්‍රව්‍යට බෙහෙවින් සමාන බවයි වාර්තා වන්නේ.

මේ අතර, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය සොයා ගත් හම්බන්තොට මිද්දෙණිය තලාව ප්‍රදේශයේ ඉඩමේ අද දිනයේත් පරික්‍ෂණ සිදු කෙරුණා.

ඒ අනුව එම පරික්‍ෂණ කටයුතු සඳහා මිද්දෙණිය පොලීසියේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එක්ව සිටි බවයි පොලීසිය පැවසුවේ.

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නා රසායන ද්‍රව්‍ය සොයා ගත් අදාළ භූමියේ තිබී ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ සහ අත්බෝම්බ කිහිපයක්ද ඊයේ දිනයේදී සොයා ගනු ලැබුවා.

එහිදී ජීව අත් බෝම්බ 05ක්, ටී 56 වර්ගයේ ජීව පතරොම් 17ක්, බෝර 12 වර්ගයේ ගිනි අවි උණ්ඩ සහ හිස් පතරොම් කොපුවක් සොයා ගෙන තිබුණා.