මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සැරිසරමින් සිටි “ඩොලර් මැෂිම” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන යුනිකෝන් දළ ඇතාට සැලසුම් සහගතව චේතනාන්විතව වෙඩි තබා ඝාතනය කිරීමට යොදා ගත් බවට සැක කෙරෙන ගිනි අවිය රජයේ රස පරික්ෂකවරයා වෙත යවා ඊට අදාළ රස පරික්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හිඟුක්ගොඩ මහේස්ත්‍රාත් එන්.ඩී. කරුණාරත්න මහත්මිය, මින්නේරිය වනජීවි කාර්යාලයේ අඩවි සහකාර ඒ.බී.සී. කුලරත්න මහතාට නියෝග කර තිබෙනවා.
යුනිකෝන් දළ ඇතාට වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටයි මහහේස්ත්‍රාත්වරිය අඩවි සහකාරවරයාට තවදුරටත් නියෝග කළේ.
මෙසේ නියෝග කළේ මින්නේරිය ජාතික වනෝද්‍යාන භූමියේ සැරිසරමින් සිටි “ඩොලර් මැෂිම” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන යුනිකෝන් දළ ඇතාට වෙඩි තබා මරා දැමීමේ සිද්ධියට අදාළ නඩුව හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීයි.
මෙම අපරධය සම්බන්ධයෙන් අධිකරණය මගින් දැනට ඇප මත මුදාහැර සිටිනුයේ පොළොන්නරුව, දියබෙදුම, ඉහනලුවැව පදිංචිකරුවන් වන ආර්.එම්. සමන් ප්‍රේමතිලක නොහොත් හැත්තෑවේ මල්ලි සහ යූ.ටී.ජී. ශ්‍රිමාල් ධනුෂ්ක කරුණාතිලක සහ එච්.එම්. ගයාන් ධනුෂ්ක සමරනායක සහ ජී.ජී. තිලකරත්න සහ මාතලේ යටිවිමන පදිංචි ආර්.එම්. හේරත් බංඩාර උඩස්ගිරිය යන සැකකරුවන්.
වෙඩි තබා ඝාතනය කෙරුණු යුනිකෝන් ඇතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයේ අවසරය මත මෙම නඩුවට අතරමැදි පාර්ශවයක් ලෙස මැදිහත්ව සිටින අලි ඇතුන් සුරැකීමේ ලෝක සංවිධානයේ ශ්‍රි ලංකා නියෝජිත දිල්කි ශෂිකලා වීරරත්න මහත්මියගේ උපදෙස් මත එම සංංවිධානය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ විජිත වික්‍රමනායක මහතා සමඟ නීතිඥ හේමන්ත රත්නායක මහතා පෙනී සිටියා.
ඒ අනුව යුනිකෝන් ඇතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ විජිත වික්‍රමනායක මහතා සිය මූලික කරුණු දැක්වීම් වලදී අධිකරණයට කියා සිටියේ මින්නේරිය ජාතික වන උයනේ සැරිසරමින් සිටි යුනිකෝන් දළ ඇතා “ඩොලර් මැෂිම” නමින් හැඳින්වීමට ප්‍රධාන හේතුව යුනිකෝන් දළ ඇතා දැක බලා ගැනීමට ඒ තරමට විශාල විදේශීය සංචාරකයින් පිරිසක් මින්නේරිය ජාතික වන උයනට පැමිණීම බවයි.
සැලසුම් සහගතව වෙඩි තබා මරා දැමුණු යුනිකෝන් ඇතාගේ වයස අවුරුදු 40ක් වන අතර උස අඩි 10යි අගල් 6ක්.