ගාසා තීරයේ ක්‍රියාත්මක සටන් විරාම ගිවිසුමේ නියමයන්ට අනුව තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකුගේ සිරුරු ඊශ්‍රායලය වෙත භාරදුන් බව හමාස් සංවිධානය පවසනවා.

කෙසේවෙතත් මියගොස් ඇති අනෙකුත් ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු නැවත භාරදීමට නොහැකි බවයි හමාස් සංවිධානය පවසා ඇත්තේ.

හමාස් සංවිධානයේ සන්නද්ධ අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ සටන් විරාම ගිවිසුමට කැපවී ඇති නමුත් ලබාදිය හැකි සියලුම ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු මේ වන විට ලබාදී අවසන් බවයි.

අනෙකුත් ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු සොයා ගැනීමට කාලය සහ විශේෂිත උපකරණ අවශ්‍ය බව එම සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් ගාසා තීරයේ ක්‍රියාත්මක සටන් විරාම ගිවිසුම් අනුව හමාස් සංවිධානය භාරයේ සිටි මියගිය ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් 28 දෙනාගේම සිරුරු යළි ඊශ්‍රායලය වෙත භාරදිය යුතු වනවා.

හමාස් සංවිධානය සටන් විරාම ගිවිසුම කඩ කරන්නේ නම් ඊශ්‍රායල හමුදාවන්ට ගාසා තීරයේ නැවත සටන් ආරම්භ කළ හැකි බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ.

මේ අතර මීට පෙර ලබාදී තිබූ ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු අතරින් එක් මළ සිරුරක් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවෙකුගේ නොවන බව පරික්ෂණවලින් තහවුරු වී ඇති බවයි ඊශ්‍රායලය ඊයේ නිවේදනය කළේ.