මධ්‍යම මියන්මාරයේ පැවති උත්සවයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් තවත් 47 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ එරට ජාතික නිවාඩු දිනයක් ද වන තඩින්ග්යුට් නම් වූ මියන්මාරයේ බෞද්ධ සංස්කෘතික උත්සවයකටයි.

එහිදී පැරිෂුටයක් යොදා ගනිමින් ගුවනින් එම උත්සවයට බෝම්බ දෙකක් හෙලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම උත්සවය මියන්මාරයේ වත්මන් පාලනයට විරෝධය පළ කළ අවස්ථාවක් ලෙසට ද හඳුන්වා දී තිබුණා.

එහිදී වත්මන් මියන්මාර පාලනයේ ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් ඉටිපන්දම් දැල්වීමේ උද්ඝෝෂණයක් ද සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2021 වසරේදී කුමන්ත්‍රණයකින් හමුදාව එරට බලය අල්ලා ගත් දා සිට මියන්මාරය සිවිල් යුද තත්ත්වයක් පවතිනවා.

එම ගැටුම්වලින් සිවිල් වැසියන් 5,000කට වැඩි පිරිසක් මේ වන විටත් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එක්සත් ජාතීන්ගේ වාර්තාවල සඳහන් වන්නේ.