මිහින්තලා පුදබිමේ පිහිටි කටු සෑය වන්දනාමාන කර ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා දෛනිකව පැමිණෙන දහස් ගණන් සැදැහැවතුන්, තමන්ගේ පුද පූජා පැවැත්වීම සඳහා පලතුරු වට්ටි සැකසීමට භාවිතා කරන, විශේෂිත වූ ආසනය කඩා බිද දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය පළාත් පාලන මැතිවරණයට මිහින්තලේ ප්‍රාදේශීය සභාවට තරග කළ අපේක්ෂකයෙකු සහ තවත් සැකකරුවෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි මිහින්තලේ පොලිසිය පැවසුවේ.
මිහින්තලා පුදබිමේ පිහිටි කටු සෑය අසල ස්ථාපිත කර ඇති, පූජා කෙරෙන පලතුරු වට්ටි සැකසීම සඳහා භාවිතා කරන මෙම විශේෂිත ආසනය යමෙකු විසින් කඩා බිඳ දමා විනාශ කර ඇති බව දැනගත් විගස මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියන් තමන් වහන්සේගේ ජංගම දුරකතනයෙන්, මිහින්තලේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල ජංගම දුරකථනයට අවස්ථා ගණනාවක් අමතා ඇතත් පොලිස් ස්ථානාධිපතිවරයා අදාළ දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වා නොමැති බවයි වාර්තා වුණේ.
පසුව මිහින්තලා රජමහා විහාරාධිපති නාහිමියන් ස්ථාවර දුරකථන ඇමතුමකින් මිහින්තලේ පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධ කරගෙන මෙම සිද්ධිය දැනුම් දී තිබෙනවා.
ඊට ප්‍රතිචාර දක්වමින් මිහින්තලේ පොලිස් ස්ථානාධිපතිවරයා මිහින්තලා නාහිමියන් වෙත දන්වා ඇත්තේ තමා පමණක් පොලිසියේ සිටින බැවින් අදාළ සිද්ධිය වූ ස්ථානයට යැවීමට කිසිදු පොලිස් නිලධාරියකු නොමැති බවයි.
පසුව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නිල ජංගම දුරකථනයට අමතා ඇති මිහින්තලා විහාරාධිපති නාහිමියන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කර තිබෙනවා.
එම අවස්ථාවේදීම මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන් පොලිස්පතිවරයා සමග දුරකථනයෙන් සම්බන්ධ වී සිටින අතරතුර, උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සමූහ දුරකථන සංවාදයකට සම්බන්ධ කරගෙන ඇති බවයි වාර්තා වුණේ.
එහිදී පොලිස්පතිවරයා වහාම මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ගේ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබෙනවා.
ඒ අනුව උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහ අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත මිහින්තලේ පොලිසිය මගින් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය පළාත් පාලන මැතිවරණයට මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ නාමල් වැව කොට්ඨාසයට ජාතික ජන බලවේගය පක්ෂයෙන් තරග කළ අවිෂ්ක ඉමේෂ් සේනාධීර සහ තවත් සැකකරුවෙකු වන ඩබ්ලිව්. ඩී. සුමේධ ලක්ෂිත නමැත්තායි. ඔවුන් මිහින්තලය කඳු වටාපාර සහ කුමාරසිරිගම පදිංචිකරුවන වනවා.




