මෙම සැප්තැම්බර් මාසයේදී රට පුරා නව සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් කළේ සංවර්ධන ව්‍යාපෘති අවසන් කළ යුතු දිනට අවසන් නොකිරීමේ සහ ඇස්මේන්තු කළ මුදලට වඩා වැඩි මුදලක් වැය කිරීමේ පැරණි සම්ප්‍රදාය අවසන් කරමින් සියලු සංවර්ධන ව්‍යාපෘති නිසි කලට නිම කර, එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට රජය කැපවී සිටින බවයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මුලතිව්හි පැවති උත්සවයක් අමතමින්.

ආර්ථික ශක්‍යතා හඳුනාගනිමින් සහ ආර්ථිකය ගමට ප්‍රසාරණය කරමින් ඉතා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඔස්සේ රට සංවර්ධනය කරා ගෙන යාම වත්මන් රජයේ අරමුණ බවයි ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ. මේ අතර පරන්තන් - කරච්චි - මුලතිව් මාර්ගයේ නන්දිකඩාල් කලපුව ආශ්‍රිතව පිහිටා ඇති වට්ටුවාකල් පාලම රුපියල් බිලියන 1යි දශම 4ක් යොදා ගනිමින් මංතීරු දෙකකින් යුත් නව පාලමක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතයි.