තංගල්ල පරවි වැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් ඊයේ රාත්‍රියේ අනතුරට පත්ව තිබෙනවා.
අනතුරට පත්වන අවස්ථාවේදී අදාළ ධීවර යාත්‍රාවේ ධීවරයින් 06ක් දෙනෙක් සිට ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.
ඉන් සිව් දෙනෙකු දිවි බේරාගෙන තිබෙනවා.
ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්වී ඇති අතර ඔවුන් දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි නාවික හමුදාව පැවසුවේ.
එම ධීවර කටයුතුවල නිරතවී ආපසු එමින් තිබියදී ගල් පරයක හැපී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට බේරාගත් ධීවරයින් දෙදෙනා තංගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මේ අතර ඊයේ උදෑසන දෙවුන්දර ධීවර වරායෙන් පිටත් වූ ධීවර යාත්‍රාවක් අනතුරට පත්වූ අතර එහි ධීවරයින් 05 දෙනෙකු ගමන් කර තිබුණා.
එම ධීවරයින්ගෙන් දෙදෙනෙකු බේරා ගත් අතර තවත් ධීවරයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
අතුරුදන් වූ සෙසු ධීවරයා සොයා අද දිනයේත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
මේ අතර කළුතර, බේරුවල මොරගල්ල ප්‍රදේශයෙන් මුහුදු ගොස් තිබියදී අනතුරට ලක්වූ බෝට්ටුවේ සිටි එකම පවුලේ සහෝදරයන් දෙදෙනාද සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වනවා.
හික්කඩුව ධීවර වරායෙන් මුහුදුගිය තවත් බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට පත්වුණේ ඊයේ පස්වරුවේයි. හික්කඩුව ධීවර වරායට ආසන්නයේදී එම අනතුර සිදුව තිබුණා.
එම බහුදින යාත්‍රාවේ සිටි පිරිස ඔවුන් අසල සිටි ධීවරයින් හා පොලීසිය එක්ව බේරාගෙන තිබෙනවා. ඒ අනුව කිසිදු ධීවරයෙකුට අනතුරක් සිදුව නැහැ.
කෙසේවෙතත් බෝට්ටුවට හානි සිදුව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතාගෙන් විමසීමක්ද සිදු කළා.
අමාත්‍යවරයා සඳහන් කළේ ධීවර යාත්‍රා කිහිපයක්ම මෙලෙස අනතුරට ලක්වීම සම්බන්ධයෙන් විශේෂ සොයාබැලීමක් සිදු කරන බවයි. අනතුරට පත් ධීවර පවුල් සඳහා වන්දි මුදලක් ගෙවීමට අදාළ කටයුතු කඩිනමින් සිදු කරන බවයි ඔහු සඳහන් කළේ.