Published
අපේ රටට මෙම වසර තුළ පැමිණි විදේශීය සංචාරකයින් ගණන ඊයේ දිනය වන විට ලක්ෂ පහළොවේ සීමාව පසුකර ගියා. එය මෙරට සංචාරක ක්ෂේත්රය සම්බන්ධයෙන් අහන්න ලැබුණු ධනාත්මක පුවතක්. මෙවැනි තත්ත්වයක් තුළ ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම මෙහෙයුම් ලාභය ද වසරේ පළමු මාස 06 තුළ ඉහළගොස් තිබෙනවා. මේ, ඒ පිළිබඳ වාර්තාවක්.
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 06 තුළ ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් ලාභය සියයට 78කින් ඉහළ ගොස් තිබෙනවා. 2024 පළමු මාස 06 තුළ එම සමාගමේ මෙහෙයුම් ලාභය වාර්තා වුණේ රුපියල් මිලියන 9,049ක් ලෙසයි. මෙම වසරේ පළමු මාස 06 තුළ එම සමාගමේ මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 16,133ක් දක්වා වර්ධනය වී තිබෙනවා. මෙම වසරේ පළමු මාස 06 තුළ ගුවන් ගමන් වාර 32,423ක් සම්පූර්ණ කර ඇති අතර, ඉදිරි සංචාරක සමය ආරම්භ වීමත් සමග එය සැලකිය යුතු ලෙස වර්ධනය වනු ඇති බවයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසන්නේ. මේ අතර පසුගිය 2024 වසරට සාපේක්ෂව මෙම වසරේ ගුවන්ගමන් වාරවල සියයට 16ක වර්ධනයක් පෙන්නුම් කරනවා. ජාත්‍යන්තර ගුවන්ගමන් වාරවල සියයට 17ක පමණ වර්ධනයක් පෙන්නුම් කරනු ලබන අතර දේශීය ගුවන්ගමන් වාරවල ද සියයට 10ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි ගුවන්තොටුපොළ අධිකාරිය පෙන්වා දෙන්නේ. ජාත්‍යන්තර ගුවන් ගමන් වාරවල වර්ධනයේ වැඩිම අගය මාර්තු මාසයේ පෙන්නුම් කරනු ලබන අතර එය 2024 වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 22ක වර්ධනයක්. දේශීය ගුවන් ගමන් වාර වර්ධනයේ වැඩිම අගය ඉකුත් ජුනි මාසයේ පෙන්නුම් කරනු ලබන අතර එය 2024 වසරට සාපේක්ෂව සියයට 38 වර්ධනයක් වනවා. ඉදිරි සංචාරක සමය ආරම්භයත් සමග ගුවන් ගමන් වාර තව දුරටත් පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව ගුවන් තොටුපොල අධිකාරිය සඳහන් කළා.