මෙරට තරුණයින් රැගත් බස් රථයක් ඊශ්‍රායලයේදී හදිසි ගිනිගැනීමකට ලක්ව තිබෙනවා.

එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ බස්රථය ගිනි ගන්නා අවස්ථාවේ එහි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු සිට ඇති බවයි.

බස් රථය ගිනිගැනීමත් සමග එහි දොර අවහිරවී තිබෙනවා. ඒ අනුව ඔවුන් එහි ජනෙල් කඩා ඉන් ඉවත්වී ඇති බවයි එරට ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසුවේ.

අනතුරෙන් පාදයක් තුවාල වූ එක් ශ්‍රී ලාංකිකයෙකු පමණක් රෝහල් ගතකර තිබෙනවා.

කෙසේවෙතත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි වාර්තා වුණේ.

බස්රථයේ සිටි සෙසු ශ්‍රී ලාංකිකයින් පිරිස සුපුරුදු පරිදි තම කටයුතුවල නිරත බවද ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවා.

එලෙස අනතුරට ලක්ව ඇත්තේ ඊශ්‍රායලයේ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් බස් රථයක් බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.