මෙරට නිල සංචාරයක නිරත වූ ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය ඇතුළු දූත පිරිස අද පෙවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත්ව ගියා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුවයි ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය මෙරට නිල සංචාරයක නිරත වුණේ. මෙම නිල සංචාරයේදී සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරය මෙනෙවිය සමගද ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. එම සාකච්ඡාවලදී ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගීතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ අවධානය යොමු වී තිබෙනවා. ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය දිවයිනේ රැඳී සිටි කාලය තුළ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමටත්, බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ක්‍රියාත්මක ඕස්ට්‍රේලියාව විසින් සහය දක්වන ව්‍යාපෘති කිහිපයක්ද නිරීක්ෂණය කිරීමට එක් වුණා.