ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව, මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු මැද නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්, එම නාවික විධානයට අනුයුක්ත වෙරළබඩ මුර යාත්‍රා යොදවා සිදු කෙරුණා.
එහිදී, මෙරට මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිත්‍යානුකූලව ගොඩවී පරීක්‍ෂා කිරීම සඳහා අනුකූලතාවය දක්වා ඇති අතර, දේශසීමා නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී මසුන් ඇල්ලීමේ යෙදුනු එම ඉන්දීය ධීවර යාත්‍රාව සමඟ ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇති බවයි සදහන් වන්නේ.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් හත් දෙනා තලෛයිමන්නාරම ජැටිය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර ඇත.