මොණරාගල, වැලියාය ප්‍රදේශයේදි අද උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට පත්ව තවත් පුද්ගලයින් විසි දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාලකරුවන් මොණරාගල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ. ඔවුන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ. දඹගල්ල දෙස සිට මොණරාගල දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ පුද්ගලික බස් රථයක ගැටී එම අනතුර සිදුව තිබෙනවා. අනතුරෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ ලංගම බස් රථයේ රියදුරු බවයි පොලීසිය පැවසුවේ. ඔහු දඹගල්ල, රුවල්වෙල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු වනවා. අනතුරට හේතුව ලංගම බස් රථ රියදුරාගේ අපරික්‍ෂාකාරී රිය ධාවනය බව පොලිස් විමර්ශනවලදි අනාවරණ වී තිබෙනවා. අධික වේගයෙන් පැමිණි ලංගම බස් රථය ගැටී ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට අම්පාර බලා ධාවනය වූ වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක බවද පොලීසිය පැවසුවා. ඒ අනුව අනතුරෙන් පෞද්ගලික බස් රථයේ සිටි වන්දනාකරුවන් වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර මීගමුව, කුඩාපාඩුව ප්‍රදේශයේ සිදුවූ තවත් අනතුරකින් තරුණයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. ඔහු ධාවනය කළ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන නිවසක බිත්තියක ගැටී එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. එහිදී ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ කුඩාපාඩුව ප්‍රදේශයේම පදිංචි තරුණයෙක්. සීදුව, කුරණ ප්‍රදේශයේද රිය අනතුරක් සිදුව තිබෙනවා. මීගමුව දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයෙකුගේ ගැටී එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. අනතුරෙන් තුවාල ලැබූ එම පුද්ගලයා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ මීගමුව තලාහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරා අත්අඩංගුවට ගත් බවයි සීදුව පොලීසිය පැවසුවේ. මේ අතර, ගිරිඋල්ල, මත්තේගම ප්‍රදේශයේදීද ලොරි රථයක් මාර්ගය හරහා ගමන්කළ පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ. ඔවුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ. අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරා අත්අඩංගුවට ගත් බවයි ගිරිඋල්ල පොලීසිය පැවසුවේ.