සිය කැනඩා සංචාරය සාර්ථකව නිමා කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ක්‍රොඒෂියාවට පැමිණ තිබේ.

දෙරට අතර සබඳතා වර්ධනය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි.

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු ක්‍රොඒෂියාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව ද මෙයයි.

ඒ අනුව සිය සංචාරය අතරතුරදී අගමැති නරේන්ද්‍ර මෝදි සහ ක්‍රොඒෂියානු අග්‍රාමාත්‍ය Andrej Plenković අතර සාග්‍රෙබ්හිදී නියෝජිත මට්ටමේ සාකච්ඡා පැවැත්වීය.

සාකච්ඡාවෙන් පසු නායකයන් දෙදෙනාම මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කළහ.

ඉන්දියාව සහ ක්‍රොඒෂියාව අතර ගැඹුරු ද්විපාර්ශ්වික සහයෝගීතාව සඳහා ගෝලීය උත්සුකතාවන් මෙන්ම මාර්ග රැසක් පවතින බව මෝදි එහිදී පැවසුවේය.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ යුරෝපයේ හෝ ආසියාවේ වේවා, යුධ පිටියේදී විසඳුම් සෙවිය නොහැකි බවයි.

සංවාදය සහ රාජ්‍ය තාන්ත්‍රිකත්වය පමණක් ඉදිරියට යා හැකි එකම මාවත බව ද මෝදි පැවසුවේය.

එමෙන්ම අගමැති මෝදි ගැටුම් සාමකාමීව විසඳීමේ වැදගත්කම අවධාරනය කළ අතර සියලු ජාතීන්ගේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවට ගරු කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.