රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නවත්වන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තමන්ට සහතික වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ධවල මන්දිරයේදී වාර්තාකරුවන් හමුවේ අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

“ඔහු මගේ මිතුරෙක්. අපට හොඳ සම්බන්ධතාවයක් තිබෙනවා. ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීම ගැන මම සතුටු වුණේ නැහැ. ඔවුන් රුසියාවෙන් තෙල් මිලදී නොගන්නා බවට අද මට සහතික වුණා. ඒක ලොකු පියවරක්. දැන් අපි චීනයටත් ඒ දේම කරන්න කියලා කියනවා.” යනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි ක්‍භභ ප්‍රවෘත්ති සේවය ඇතුලු විදෙස් මාධ්‍ය ගණනාවක් වාර්තා කර ඇත්තේ.

රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නවත්වන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මාස ගණනාවක සිට ඉන්දියාවට බලපෑම් කරමින් සිටියා.

ඉන්දියාව ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් ඉකුත් අගෝස්තු මාසයේදී සියයට 25ක අතිරේක තීරු බද්දක් දඩයක් ලෙස පැනවීමට ද අමෙරිකානු ජනාධිපතිවරයා පියවර ගත්තා.

ඒ, අමෙරිකාව විසින් ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පැනවූ සියයට 25ක තීරු බද්දට අතිරේකවයි.

කෙසේවෙතත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එවැනි තීරණයක් ගෙන තිබේද යන්න සම්බන්ධයෙන් ඉන්දියාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.