තායිලන්තය හා කාම්බෝජය අතර දේශසීමාවේ ගැටලු තවදුරටත් උත්සන්න වී තිබෙනවා.

එම ගැටුම් ඇති වූයේ තායිලන්තයේ උබොන් රාචතානි පළාතේ චොං බොක් ප්‍රදේශයේදීයි.

ගැටුම්වලින් දෙදෙනෙකු මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කාම්බෝජ හමුදාව සිදු කළ වෙඩි තැබීමකින් පසු, රාජකීය තායි හමුදාව විසින් කාම්බෝජ හමුදා ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා.

මෙම ගැටුම්වලින් තායි සොල්දාදුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

කාම්බෝජ හමුදා විසින් පෙරවරුවේ තායි භූමියට වෙඩි තැබූ බවත්, තම හමුදා ගුවන් යානා යොදා ගත්තේ කාම්බෝජ වෙඩි තැබීම් මැඩපැවැත්වීමට බවත් තායි හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් වින්තායි සුවාරී ප්‍රකාශ කර තිබෙනවා.

එහෙත් කාම්බෝජ ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශිකා මාලි සෝචේටා පවසන්නේ ප්‍රථමයෙන් ප්‍රහාරය ආරම්භ කළේ තායි හමුදා බවයි.

එමෙන්ම කාම්බෝජය ප්‍රතිප්‍රහාර එල්ල නොකළ බව ද ඇය කියා සිටියා. තායිලන්තය හා කාම්බෝජය අතර දරුණු ලෙස දේශසීමා ආරවුලක් පසුගිය ජූලි මාසයේදී ද හටගත්තා.

එය දින පහක යුද්ධයක් දක්වා වර්ධනය වූ අතර එහිදී පුද්ගලයින් 48 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් ලක්ෂ තුනක් පමණ අවතැන් වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.