ශ්‍රී පාද අඩවිය තුළ පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව මේ වන විටත් තහනමට ලක් කර ඇති පොලිතින් අමුද්‍රව්‍යයක් ලෙස යොදා නිෂ්පාදිත ආහාර දවටන එනම් ලන්ච් ෂීට් ආදිය, අධි ඝනත්වයෙන් යුත් පොලිතින් මඟින් නිෂ්පාදිත බහාලුම් එනම් සිලිසිලි මලු වන්දනාකරුවන් විසින් රැගෙන යාම සම්පූර්ණයෙන් තහනම්.
එමෙන්ම සැෂේ පැකට්, තනි-භාවිත බීම බට, කලතන, තනි-භාවිත පිඟන් කෝප්ප, හැඳි, ගෑරුප්පු හා පිහි ද මෙම ප්‍රදේශය තුළ විකිණීම හෝ වන්දනාකරුවන් විසින් රැගෙන යාම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.
ඊට අමතරව, ලීටරයට අඩු තනි-භාවිත ප්ලාස්ටික් ජල බෝතල් හා බිම බෝතල් රැගෙන යාම තහනම් වනු ඇති.
පොලිතින් ආවරණ සහ ඇසුරුම් සහිත ආහාරපාන, ඖෂධ හෝ අනෙකුත් බඩු භාණ්ඩ කිසිවක් පාරිසරික අධිසංවේදී කලාපය තුළ බැහැර කිරීම ද මේ යටතේ තහනම් වනවා.
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ තෝරා ගත් අධි සංවේදී කලාප තුළ පළමුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.
ඊට අදාළ යාන්ත්‍රණය සහ ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ඉදිරියේදි දැනුම්දීමට නියමිත බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
නව තීරණය යටතේ පාරිසරික අධිසංවේදී කලාපය තුළ ඇති ව්‍යාපාරික ස්ථාන විසින් අලෙවි කරන ප්ලාස්ටික් ආවරණ සහිත ආහාරපාන හෝ වෙනත් වෙළෙඳ භාණ්ඩ අලෙවියෙන් පසු ජනනය වන අපඅද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ වගකීම අදාළ වෙළෙඳසැල් හිමියන් වෙත පැවරීම සිදු වනවා.
අලෙවිසැල් ඉදිකිරීමෙදී සහ පවත්වාගෙන යාමේදී ඒකරාශි වන පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි ලෙස එකතු කර ශ්‍රී පාද අධි සංවේදී කලාපයෙන් බැහැරට ගෙනවිත් අදාළ නගර සභා හෝ ප්‍රාදේශීය සභා හරහා අවසන් බැහැර කිරීමේ වගකීම ඒ ඒ අලෙවිසල් හිමියන් වෙත පැවරීමද සිදු වනු ඇති.




