යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි පිට අදඋදැසන නොසන්සුන්තාවක් ඇති වු අතර,අදාළ නොසන්සුන්තාවය අතරතුර පොලිස් රාජකාරියට බාධාවන අයුරින් හැසුරුණ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය,පලාලි පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ අද(21) උදැසන තිස්ස විහාරය ඉදිරිපස පිරිසක් විරෝධතාවයක් පවත්වන බවට තොරතුරු ලැබී තිබු අතර,එහිදි පුද්ගලයින් 29 දෙනෙකුට එරෙහිව අදාළ ස්ථානයේ විරෝධතා පැවැත්වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක්ද ගෙන තිබු බවයි.

අදාළ අධිකරණ නියෝග නොතකා පිරිසක් බලහත්කාරයෙන් විහාරස්ථාන භූමියට ඇතුළුවීමට උත්සහ කළ බවත් එහිදි පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කර සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් විරෝධතාකරුවන් පැවසූවේ තමන් ඇතුළු පිරිසක් විහාරස්ථාන සීමාවේ පවතින පෞද්ගලික ඉඩම් නිදහස් කරන ලෙසට ඉල්ලා අද(21) විරෝධතාවයක් පැවැත්වු අතර,එහිදි පොලිස් නිළධාරීන් විසින් විරෝධතාකරුවන්ට විහාරස්ථාන ගේට්ටුව තුළින් විහාරස්ථානයට ඇතුළුවීමට අවස්ථාවක් නොදුන් බැවින් නොසන්සුන්කාරි තත්වයක් හටගත් බවයි.

විරෝධතාවය අවස්ථාවේ වේලන් ස්වාමි ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බවද විරෝධතාකරුවන් පවසා සිටියේ.

අත්අඩංගුවට ගත් පිරිස යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය පැවසුවේ.

මීට පෙර අවස්ථා කිහිපයකදීද විහාරස්ථානයේ ඉදිකිරීම් නවත්වන ලෙසට හා විහාරස්ථාන සීමාවේ පවතින පෞද්ගලික ඉඩම් නිදහස් කරන ලෙසට ඉල්ලා විරෝධතා වැඩසටහන් කිහිපයක් පැවැත්විණ.