ඉකුත් රජය සමයේ යුක්තිය මෙහෙයුම පැවති අවස්ථාවේදී කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මගින් තමන් අත්ඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය ළඟ තබා ගත්තේ යැයි චෝදනා කරමින් රිමාන්ඩ් භාරයට පත් කිරීම තුළින් සිදු වූ සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වෙනුවෙන් රුපියල් කෝටි 10 ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා පිය පුතු යුවළක් විසින් ඉදිරිපත් කළ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අවසර ලබා දුන්නා.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි වෙළෙඳ ව්‍යාපාරික පිය පුතු දෙදෙනකු වන මොහොමඩ් සුලෙයිමාන් සහ ඉෆ්තාන් රාමතුල්ලා යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

මෙම පෙත්සම පිළිබඳව මූලික වශයෙන් කරුණු තහවුරු කිරීමෙන් අනතුරුව යසන්ත කෝදාගොඩ, සෝභිත රාජකරුණා සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර සිටියා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වූ ඉකුත් වසරේ මාර්තු 14 වනදා වගඋත්තරකරුවන් තමන් පදිංචිව සිටි මහල් නිවාසයට පැමිණ පරීක්ෂා කර තමන්ට පහර දී අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගිය බවයි.

පසුව මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත්තේ යැයි චෝදනා කරමින් තමන්ව අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඞ් භාරයට පත් කළ බවත් ඔවුන් චෝදනා කර තිබෙනවා.

ඉන් අනතුරුව තමන්ව අධිකරණය විසින් ඇප මත මුදාහැර පසුව නිදහස් කෙරුණු බවත් ඔවුන් පෙන්වා දෙනවා.

වග උත්තරකරුවන්ගේ මෙම ක්‍රියා කලාපය තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් රුපියල් කෝටි 10 ක වන්දියක් අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් වැඩි දුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතායි.