රුසියාව විසින් එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් යුක්‍රේනයේ කියෙව්හි ප්‍රධාන රජයේ ගොඩනැගිල්ලකට පළමුවරට හානි සිදු වී තිබෙනවා. අගනුවර පුරා සිදු වූ ප්‍රහාරවලින් බහු මහල් නේවාසික ගොඩනැගිලි කිහිපයකට පහර දී අර්ධ වශයෙන් විනාශ වී ඇති අතර, ළදරුවෙකු ඇතුළු දෙදෙනෙකු මිය ගොස් තවත් 16 දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ දක්වා රුසියානු ආක්‍රමණය ආරම්භයේ සිට යුක්‍රේනයේ කියෙව්හි මධ්‍යස්ථානය දැඩි ලෙස ආරක්ෂා කර ඇති බැවින් කිසිදු රජයේ ගොඩනැගිල්ලකට පහර දී නොමැති බවද විදෙස් මාධ්‍ය පවසනවා. කියෙව්හි ප්‍රධාන රජයේ ගොඩනැගිල්ලට එල්ල කළ රුසියානු ප්‍රහාරය අනුකම්පා විරහිත ප්‍රහාරයක් බවත් සුදුසු ප්‍රතිචාරයක් ලබා දෙන බවත් යුක්‍රේනයේ ජනපති වොලොඩිමියර් සෙලෙන්ස්කි X මාධ්‍යයේ සටහනක් තබමින් පවසා තිබෙනවා. අගනුවර පුරා සිදු වූ ප්‍රහාරවලින් එක් ළදරුවෙකු ඇතුළුව සිව් දෙනෙකු මිය ගොස් 44 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවයි යුක්‍රේන ජනපති සඳහන් කර සිටියේ. මෙම ප්‍රහාර සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් සාම සාකච්ඡාවලදී එකඟ වූ සියල්ල ක්‍රියාත්මක කරන ලෙසත් යුක්‍රේන ජනාධිපතිවරයා මිත්‍ර පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටිනවා. මෙම රජයේ ගොඩනැගිල්ලකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව පවසන්නේ ප්‍රහාරවලදී ඔවුන් ඉලක්ක කළේ හමුදා සහ ඒ ආශ්‍රිත යටිතල පහසුකම් පමණක් බවයි. සටන් විරාමයකට එකඟ වීමෙන් පසු යුක්‍රේනයට සාම සාධක හමුදා යැවීමට එරෙහිව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් බටහිරට අනතුරු ඇඟවීමත් සමඟ මෙම ප්‍රහාර එල්ල වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.