යුක්‍රේනයේ අගනුවර වන කියෙව් වෙත රුසියාව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ මෙය එක් රැයක් තුළ එල්ල වූ දැවැන්තම ප්‍රහාරයක් බවයි.

මිසයිල 18ක් එල්ල වූ බවත් ප්‍රහාරයට ඩ්‍රෝන යානා 400ක් පමණ සම්බන්ධ වූ බවත් ප්‍රධාන වශයෙන් අගනුවර ඉලක්ක කර ගත් බවත් ඔහු පවසා තිබෙනවා.

ප්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කෙසේවෙතත් මෙම ප්‍රහාරය පිළිබඳ රුසියානු හමුදාව අදහස් පල කර නැහැ.

ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ ද රුසියාව විසින් ඩ්‍රෝන යානා 728 ක් සහ කෲස් හෝ බැලස්ටික් මිසයිල 13ක් සමග යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල වුණා.

රුසියානු ප්‍රහාර හමුවේ වසර තුනක් තුළ වැඩිම පුද්ගල මරණ සිදු වූ මාසය ලෙස සැලකෙන්නේ ඉකුත් ජූනි මාසයයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව පුද්ගලයින් 232 දෙනෙකු එහිදී මිය ගොස් තවත් 1,343 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.