ආපදාව හේතුවෙන් පෝෂණ අවධානමට ලක්ව ඇති දරුවන්ගේ පෝෂණය ආරක්ෂා කර ගැනීමට යුනිසෙෆ් ආයතනය මෙරටට අතිරේක සංයුක්ත පෝෂණ ආහාර ප්‍රදානයක් සිදු කිරීම කාලීනව අතිශය වැදගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසනවා.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් දරුවන්ගේ ක්ෂණික පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා භාවිතා කිරීමට සූදානම් කල BP-5 අතිරේක සංයුක්ත පෝෂණ ආහාර ඇසුරුම් 1500ක් යුනිසෙෆ් සංවිධානය ඊයේ (23) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී භාර දෙනු ලැබුවා.
මෙම අතිරේක සංයුක්ත පෝෂණ ආහාර මාස 6 සිට අවුරුදු 5 දක්වා ළමුන්ගේ මන්දපෝෂණ (MAM) ගැටළු විසඳීම සඳහා සකස් කරන ලද විටමින් සහ ඛණිජ ලවණ වලින් අනූන අතිරේක ශක්තිජනක පරිපූරක ආහාරයක් ලෙස භාවිතා කිරීමට හැකියාව ඇත.
යුනිසෙෆ් සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත එමා බ්‍රිගම් මහත්මිය විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත මෙම අතිරේක සංයුක්ත පෝෂණ ආහාර තොගය නිල වශයෙන් භාර දෙනු ලැබුවා.
නුවරඑළිය, බදුල්ල, මහනුවර, කෑගල්ල සහ කිලිනොච්චි ඇතුළු අවතැන් වූ පවුල් සිටින සහ මන්දපෝෂණයේ වැඩි අවදානමක් ඇති කුඩා දරුවන් වැඩි සංඛ්‍යාවක් සිටින ප්‍රදේශ වල ප්‍රජාවන්ට ප්‍රමුඛත්වය දෙමින් දිස්ත්‍රික්ක 19 කට BP-5 අතිරේක සංයුක්ත පෝෂණ ආහාර බෙදා හැරීමට දැනට සැලසුම් කර ඇති බව මෙහිදී අනාවරණය වි තිබෙනවා.
BP-5 අතිරේක සංයුක්ත පෝෂණ ආහාර යනු ශක්තිය සහ පෝෂණය වඩන ආහාරයකි.
එය ධාන්‍ය සහ එළවළු ප්‍රෝටීන් මත පදනම් වන අතර, ග්‍රෑම් 500 ක පැකට්ටුවකට බාර් 9 ක් බැගින්, හදිසි අවස්ථා වලදී භාවිතා කිරීම සඳහා නිෂ්පාදනය කර ඇති බවට මෙහිදී හදුන්වාදෙනු ලැබුවා.
එමෙන්ම අත්‍යවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණ වලින් පොහොසත්, එය සෘජුවම හෝ කැඳ ලෙසද අනුභව කළ හැකි ආහාරයක් බවද මෙය ආපදා අවස්ථාවන්හිදී හදිසි බෙදා හැරීම සඳහා ඉතා හොඳින් ගැළපෙන අමතර ආහාරයක් බවද මෙහිදී සඳහන් විය.
මෙම අතිරේක සංයුක්ත පෝෂණ ආහාර නිල වශයෙන් බාර ගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරන ලද්දේ මෙරට දරුවන්ගේ පෝෂණය පිළිබඳ අභියෝගයක් පවතින යුගයක සහ හදිසි ආපදාවකට මුහුණ දුන් අවස්ථාවක මෙම කිලෝ 20,000 ක අතිරේක සංයුක්ත පෝෂණ ආහාර ප්රදානය මෙරටට අතිශය වැදගත් බවයි.
පෝෂණය සම්බන්ධයෙන් ගැටළු පවතින දිස්ත්‍රික්කයන් හි ආපදාව හේතුවෙන් එම තත්ත්වය තවත් බැරෑරුම් වූ බව ද එම ප්‍රදේශ ආශ්‍රිතව තවදුරටත් සුරක්ෂිත මධ්‍යස්ථාන ද පවත්වාගෙන යාමට සිදුව ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
මෙවන් තත්ත්වයක් යටතේ දැනට භාවිතා කරනු ලබන ත්‍රිපෝෂ අතිරේක ආහාර ද ප්‍රමාණවත් නොවන බැවින් යුනිසෙෆ් සංවිධානය BP-5 අතිරේක සංයුක්ත පෝෂණ ආහාර ලබාදීම අවධානමට ලක්විය හැකි දරුවන්ගේ පෝෂණ තත්ත්වයන් තවදුරටත් පිරිහීම වැළැක්වීමට තීරණාත්මක මැදිහත්වීමක් වන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.
පශ්චාත් ආපදා තත්ත්වය තුළ මාතෘ හා ළමා පෝෂණය ආරක්ෂා කිරීම සඳහා යුනිසෙෆ් ආයතනය දක්වන ලද මෙම දායකත්වය සහ අඛණ්ඩ හවුල්කාරීත්වය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.
යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත එමා බ්‍රිගම් මහත්මිය (Ms Emma Brigham) මෙහිදී කියා සිටියේ ගෝලීය විශේෂඥ දැනුම උපයෝගී කරගනිමින් සහ මෙරට දේශීය අවශ්‍යතාවට ප්‍රතිචාර දක්වමින්, මධ්‍යස්ථ මට්ටමේ උග්‍ර මන්දපෝෂණය පිටුදැකීම සඳහා ශ්‍රී ලංකාවේ BP-5 අතිරේක සංයුක්ත පෝෂණ ආහාර භාවිතා කරන පළමු අවස්ථාව මෙය වන බවයි.
ඉතා තීරණාත්මක මොහොතක කාලෝචිත සහ ප්‍රායෝගික ප්‍රතිචාරයක් දැක්වීමට හැකියාව ලැබුන බව ද ඇය මෙහිදී පැවසුවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදු කරනු ලබන මෙම බෙදා හැරීම් සමඟ BP-5 අතිරේක සංයුක්ත පෝෂණ ආහාර යනු කුමක්ද සහ එම ආහාර භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ පැහැදිලි කිරීමක් භාෂා ත්‍රිත්ත්වයෙන්ම සිදුකරන බව යුනිසෙෆ් නිලධාරීන් මෙහිදී සඳහන් කරනු ලැබුවා.
මෙම හදිසි පෝෂණ සැපයුම් සදහා ජර්මානු යුනිසෙෆ් ජාතික කමිටුවේ සහයෝගයද ලැබී තිබෙනවා.
මෙම ද්‍රව්‍ය මනා ලෙස බෙදා හැරීම සදහා යුනිසෙෆ් ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අදාළ බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට එක්වනු ඇත.
මෙම අවස්ථාවට අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ඩබ්.කේ. වික්‍රමසිංහ, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, මෙරට ජර්මානු කාර්යාලයේ ප්‍රධානී සාරා හැසල්බාර්ත්, (Ms Sarah Hasselbarth) යන මහත්ම මහත්මීන් ඇතුළුව ක්ෂේත්රයට අඳාල විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.





