“යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ” පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

ඒ, ආණ්ඩු පක්ෂය විසින් ගෙනඑනු ලබන යෝජනාවකට අනුවයි.

ඒ අනුව අද සවස 05.30 දක්වා එම විවාදය පැවැත්වීමට පසුගිය අඟහරුවාදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරුණා.

මීට පෙර තීරණය කර තිබුණේ ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත අද දිනයේදී විවාදයට ගැනීමටයි.

එම කෙටුම්පත සම්බන්ධව මතුව ඇති තාක්ෂණික කාරණා හේතුවෙන් අදාළ කටයුතු අවසන් වීමෙන් පසු නැවත ඉදිරි පාර්ලිමේන්තු දිනකදී එම පනත් කෙටුම්පත විවාදයට ගැනීමට ඉකුත් අඟහරුවාදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරුණා.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ එක් අදියරක් ලෙස අද පැවැත්වෙන කල් තැබීමේ විවාදය යොදාගන්නා බවයි සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ.