වත්මන් රජයත් යෞවන කටයුතු අමාත්‍යවරයා සහ තරුණ සේවා සභාපතිවරයා ප්‍රමුඛ කණ්ඩායමක් දශක ගණනාවක් පුරා මෙරට තාරුණ්‍යට ජාති ආගම් කුලමල පන්ති පක්ෂ දේශපාලන භේදයෙන් තොරව තරුණ හඬ තරුණ ජවය සහ තරුණ ශක්තිය ක්‍රියාත්මක කරන්න තිබූ යෞවන සමාජ පද්ධතිය සහමුලින්ම දේශපාලනීකරණය කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී Citizens’ Voice (පුරවැසි හඩ) වැඩසටහන සඳහා පැමිණි දිවයින පුරා සිටින යෞවන සමාජවල සාමාජික සාමාජිකාවන් හමුවූ අවස්ථාවේදීයි.

මීට පෙර ග්‍රාමනිලධාරීවරයා සහ තරුණ සේවා සභාවේ නිලධාරින් විසින් මුළු ගමම නගරයම දැනුවත් කර පිහිටවූ යෞවන සමාජ අද පිහිටුවන්නේ ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය මන්ත්‍රිවරුන් බවත් මෙහි කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියා

මීට විරුද්ධව ගත යුතු සියලුම ප්‍රජාතන්ත්‍රවාදී පියවර ගන්නා බවත් යෞවන සමාජ හා යෞවන සමාජ සම්මේලන ක්‍රියාදාමය ජනතා විමුක්ති පෙරමුණේ ශාඛා සමිති ප්‍රතිසංවිධානය කරන වැඩපිළිවෙළේ කොටසක් බවට පත්වීමට ඉට නොදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම යෞවන සමාජවල සෑම දේශපාලන පක්ෂයට සම්බන්ධ සාමාජික සාමාජිකාවන් සිටින බැවින් මොවුන් සියලු දෙනාට සමබිමක සමතලයක හැකියාව දක්ෂතාව පෙන්වා කුසලතාව නිපුණතාව අනුව තැන හිමිවිය යුතු බවත් මෙයට රජය හෝ ජනතා විමුක්ති පෙරමුණ තීන්දු කරන අයට පමණක් සීමා නොවිය යුතු බවත් සඳහන් කර සිටියා.

මේ වැඩපිළිවෙළක් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ තරුණයන් පවා විරුද්ධ වී ඇති බවත් ජවිප සජබ යූඇන්පී පොහොට්ටු, සන්ධාන, සමාජවාදී කුමන පක්ෂයකට සම්බන්ධ වුවත් සෑම පක්ෂයකටම මෙන්ම පක්ෂ දේශපාලනයට සම්බන්ධ නොවන තරුණයන්ට මෙහි දොරටු විවෘත විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එක් එක් න්‍යායාචාර්යවරුන්ගේ ඡායාරූප පෙන්වා යෞවන සමාජ ක්ෂේත්‍රය විනාශ කරන්න දිය නොහැකි බවත් මෙය චේගුවේරාට සම්බන්ධ දෙයක් නොවන බවත් යෞවන සමාජ සම්මේලනය හා යෞවන සමාජ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ග්‍රහනයෙන් මුදවා ගෙන ස්වාධීන කළ යුතු බවත් ඒ වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියේ.