රජය විසින් වාහන ආනයන තහනම ලිහිල් කර තිබෙන අවස්ථාවක සිය සමාගම විසින් නිසි පරිදි බදු ගෙවා නීත්‍යානුකූල ආකාරයට ආනයනය කළ වාහන දෙකක් රේගුව විසින් මුදා හැරීමකින් තොරව අනීතික ලෙස රඳවා ගැනීම නීති විරෝධී බවට තීන්දු කොට එම වාහන මුදාහරිණ ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වාහන ආනයන සමාගමක් විසින් අභියාචනාදීකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි වාහන ආනයන සමාගමක් වන යූ.එස්. කාර් සේල්ස් ප්‍රයිවට් ලිමිටඩ් සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ ඒ. උපේක්ෂා ද සිල්වා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.

එහි වග උත්තරකරුවන් ලෙස රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් මහජන බැංකුව , ජනාධිපති හා මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් නීතිපතිවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, ආනයන හා අපනයන පාලක, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් යන අය නම් කර තිබෙනවා.

ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා මාර්ගයෙන් ගොනුකර ඇති මෙම පෙත්සම තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ තමන් 1984 වසරේ සිට වාහන ආනයනය කර ඒවා මෙරටදි අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවයි.

ඒ අනුව honda වර්ගයේ වාහන දෙකක් සිංගප්පූරුව හරහා ආනයනය කිරීමට තම සමාගම තීරණය කළ බවත් ඊට අදාළව ඉකුත් මාර්තු මස 19 වනදා මහජන බැංකුව මාර්ගයෙන් ණයවර ලිපි විවෘත කළ බවත් පෙත්සම්කරුවන් පවසනවා.

ඉන් අනතුරුව එම වාහන ආනයනය කිරීමට අදාල බදු සහ ගාස්තු වශයෙන් රුපියල් 35 564 668/- ක් මුදලක් ඉකුත් මැයි මස 26 වනදා ගෙවීමට කටයුතු කළ බවත් ඔවුන් පවසනවා.

සියලු ගෙවීම් හා නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කර තිබියදී ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් විසින් අදාළ වාහන දෙක සහ ඊට අදාල ලේඛන සිදු සාධාරණ හේතුවක් රහිතව මුදා හැරීම ප්‍රතික්ෂේප කරන බවත් පෙත්සංකරුවන් චෝදනා කළා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම පෙත්සම ඉදිරිපත් කළ අවස්ථාව දක්වා රඳවා ගැනීමේ ගාස්තු වශයෙන් තමන්ට රුපියල් ලක්ෂ 23 කට අධික මුදලක් ගෙවීමට සිදුවී ඇති බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා රේගුවේ මෙම ක්‍රියා කලාපය නිසා කලක් වාහන ආනයනය තහනම් කිරීම හේතුවෙන් පීඩාවට පත් වූ වාහන ආනයනකරුවන් දැඩි අපහසුතාවයට පත්වන බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අනීතික ලෙස රඳවාගෙන සිටින අදාළ වාහන වාහන මුදා හරින ලෙස ශ්‍රී ලංකා රේගුවට නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

මෙම පෙත්සම ඊයේ අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකරය සම්බන්ධයෙන් වග උත්තරකරුවන්ගෙන් කරුණු විමසා එය සමථයට පත් කිරීමට ඇති හැකියාව අධිකරණයට දැනුම් දෙන ලෙසයි.

ඉන් අනතුරුව පෙත්සම ලබන 01 වනදා කැදවීමට නියම කළා.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන ෆයිසර් මුස්තාපා, උපුල් කුමාරප්පෙරුම ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියා.