දේශපාලන සහ ආර්ථික කරුණු සම්බන්ධයෙන් විවාද මතු කර ගත හැකි නමුත් විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කර දැමීමේ ජාතික වගකීම ඉටු කිරීමේදී තවදුරටත් කිසිදු විවාදයකට ඉඩක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා පැවසුවේ විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ කඩිනම් වැඩපිළිවෙළක් වෙනුවෙන් රටම එකට එක් විය යුතු බවයි. විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට ජාතික මෙහෙයුම” පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම වෙනුවෙන් පැවති හමුවට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ හා බැදුණු අපරාධ කල්ලිවල මූල්‍ය බලය විසින් ආර්ථිකය, සමාජ දේහය, රාජ්‍ය යාන්ත්‍රණය සහ නීතියේ විධානයේ ආධිපත්‍ය පවා බිඳ වට්ටමින් රටත්, සමාජයත් විනාශ කරමින් තිබෙන බවයි. මෙම උවදුරට තවදුරටත් ඉඩ නොතැබීමට වත්මන් රජය තීරණය කර තිබෙන බව පැවසු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සියලු දෙනාගේ දායකත්වය අපේක්ෂා කරන බවද සඳහන් කළා.
එමෙන්ම පසුගිය සමයේ දේශපාලන රශ්මි කදම්භය තුළ නිදැල්ලේ වර්ධනය වූ මෙම අපරාධ අද රටත් සමාජයත් දැඩිව වෙළාගෙන තිබෙන අන්දම සහ ඊට පොලිසිය, රේගුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාරත්මේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ වගකිවයුතු ආයතනවලින් ලැබී ඇති සහාය පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කර තිබෙනවා.
නැවත එවැනි තත්ත්වයකට ඉඩ නොතබා අනාගත දරු පරපුර වෙනුවෙන් මෙම ජාතික ව්‍යසනය පරාජය කිරීමට සියලු දෙනා වෙත පැවරි ඇති අත්හළ නොහැකි වගකීම බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.
“රටම එකට ජාතික මෙහෙයුම සමාරම්භය” ඔක්තෝබර් 30 වන දින පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.





