විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා ආරම්භ කෙරුණු “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ගතවූ දෙසතියක කාල සීමාව තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 268ක් සහ හෙරොයින් කිලෝ ග්‍රෑම් 108ක් ඇතුලු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම කරුණු අනාවරණ කළා.

මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2,554ක් හෙරොයින් කිලෝ ග්‍රෑම් 1,493ක් ඇතුලු තවත් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති බවද එහිදී ප්‍රකාශ කෙරුණා.

කොටහේන ප්‍රදේශයේ ඉකුත්දා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම මාධ්‍ය හමුවේදී කරුණු දැක්වූවා.