අමෙරිකාව විසින් ලොව රටවල් රැසකට පැනවූ ආනයන බදු සංශෝධනය කිරීමේදී ශ්‍රී ලංකාවට විශේෂිත බවක් ලැබී ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසනවා.

ඉකුත් අප්‍රේල් මාසයේදී අමෙරිකාව පැනවූ සියයට 44ක් වූ තීරු බද්ද ජූලි මාසයේදී සියයට 30ක් දක්වා අඩු කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ලැයිස්තුගත රටවල් අතරින් ශ්‍රී ලංකාවට ලැබී ඇති මෙම සංශෝධිත නව බද්ද විශේෂිත බවද විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

මෙය ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර ඇති සාර්ථක ද්විපාර්ශවික සබඳතාවල සහ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ සම්බන්ධයෙන් අමෙරිකානු පරිපාලනය දැක්වූ සහයෝගයට සහ ඒ සඳහා සාකච්ඡා පැවැත් වූ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමටද විශේෂ කෘතඥතාවයක් හිමිවන බවයි ඔහු සිය නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉකුත් අප්‍රේල් මාසයේදී ලොව රටවල් රැසකට පැනවූ තීරු බදු පසුව තාවකාලිකව අත්හිටවනු ලැබුවා. ඒ ජූලි 09 වනදා දක්වායි.

ඒ අනුව ඉකුත් අඟහරුවාදා රටවල් 14ක නව තීරු බදු අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළා. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 06කට පැනවූ තීරු බදු පිළිබඳ දැනුම්දී තිබුණේ ඊයේ රාත්‍රියේයි.

ශ්‍රී ලංකාව, පිලිපීනය, මෝල්ඩෝවා, බෲනායි, ඇල්ජීරියාව, ලිබියාව සහ ඉරාකය වැනි රටවලට පැනවූ තීරු බදු ඊයේ දිනයේ ප්‍රකාශයට පත් කර තිබුණා.

ඒ අතරින් ශ්‍රී ලංකාව, මෝල්ඩෝවා, ඉරාකය සහ ලිබියාව වැනි රටවලට පනවා ඇති බදු අනුපාත ඉකුත් අප්‍රේල් මාසයේ නිවේදනය කළ බදු අනුපාතවලට වඩා අඩු අගයක් ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

පිලිපීනය සහ බෲනායි යන රටවලට පනවා ඇති බදු අනුපාත ඉකුත් අප්‍රේල් මාසයට වඩා ඉහළ අගයක් ගෙන ඇති අතර ඇල්ජීරියාවට පනවා ඇති බදු අනුපාතය පසුගිය අප්‍රේල් මාසයට සමාන මට්ටමක පවතින බවද එම වාර්තාවල දැක්වෙනවා.

මෙම නව බදු අනුපාත අගෝස්තු මස පළමුවනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.