රුසියාවේ හටගත් ප්‍රබල භූකම්පනය මේ වන විට ලොව සියලු මාධ්‍ය ප්‍රමුඛ අවධානයක් ලබාදුන් මාතෘකාවයි.

ඒ, ජපානයේ ටෝකියෝවේ සිට හවායි දක්වා, කැලිෆෝනියාවේ සිට නවසීලන්තය දක්වා, මිලියන ගණනක් සුනාමි භීතියට පත්කිරීමත් සමඟයි.

රුසියානු වෙරළට ඔබ්බෙන් එරට වේලාවෙන් රාත්‍රී 11යි 25ට ඇති වූ මෙම දැවැන්ත භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක 8යි දශම 8ක්.

ඒ සමගම රුසියාව, ජපානය සහ අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයකටම සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළා.

රුසියාවේ අඩි 13ක් උසට සුනාමි රළ මතුවී ඇති අතර ජපානයේ ද අඩි 3ක් උසට සුනාමි රළ ගොඩට පැමිණ තිබුණා.

රුසියානු වරාය නගරයක් වන සෙවෙරෝ-කුරිල්ස්ක් වෙත සුනාමි රළ තුනක් කඩා වැදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රුසියාවේ සකාලින් කලාපයේ උතුරු කුරිල් දූපත්වලට හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අමෙරිකා බලධාරින් ද දන්වා තිබුණේ හවායි සහ කැලිෆෝනියාවේ වෙරළ තීරයෙන් සහ පහත් බිම් ප්‍රදේශවලින් ජනතාවට ඉවත් වන ලෙසයි.

අද දහවල් වන විට චීනය, පිලිපීනය, ඉන්දුනීසියාව, නවසීලන්තය, පේරු සහ මෙක්සිකෝව ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට කටයුතු කර තිබුණා.

ඉන්දුනීසියානු කාලගුණ, දේශගුණ සහ භූ භෞතික විද්‍යා ඒජන්සිය සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කරමින් දන්වා තිබුණේ පළාත් 20ක පදිංචිකරුවන්ට වෙරළ සහ වෙරළබඩ ප්‍රදේශවලට යාමෙන් වළකින ලෙසයි.

රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපය ආසන්නයේ අද ඇති වූ මෙම භූමිකම්පාව 1952න් පසු එරටට බලපෑ දරුණුතම භූමිකම්පාවයි.

බලධාරීන් දැන් අනතුරු අඟවා ඇත්තේ ප්‍රබල පසු කම්පන ඇතිවීමේ අවදානමක් ද මතුව ඇති බවයි.

මෙම භූමිකම්පාවේ අවදානම තවත් වැඩි වූයේ ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට ද මෙමඟින් බලපෑම් එල්ලවිය හැකි බවට අනතුරු ඇඟවීමත් සමඟයි.

ජපානය තුළ ශ්‍රී ලාංකිකයින් රැසක් සිටින බැවින් එරට වත්මන් තත්ත්වය පිළිබඳ දැනගැනීමට නෙත් නිවුස් එරට සිටින කුමුදු ලක්මාල් සම්බන්ධ කරගත්තා.

සුනාමි අවදානම හේතුවෙන් ජපානයේ ලක්ෂ 19කට දැනටමත් ඉවත් වන ලෙස නියෝග කර තිබෙනවා.

හොක්කයිඩෝ හි පුද්ගලයින් 10,500කට දැනුම්දී ඇත්තේ වහා ඉවත් වන ලෙසයි.