2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සියලුම විෂයන් සඳහා ් සාමාර්ථ නවයම ගත් සිසුන් 13,392ක් සිටින බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පවසනවා.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් අතරින් දෙලක්ෂ තිස්හත් දහස් විසිහය දෙනෙකු උසස් පෙළට සුදුසුකම් ලබා ඇති බවයි.

පළාත් වශයෙන් ගත් කළ ඉහළම සමත් ප්‍රතිශතයක් වාර්තා වන්නේ දකුණු පළාතේයි.

එම සංඛ්‍යාව සියයට 75යි දශම 6යි 4ක්. බස්නාහිර පළාතේ සියයට 74යි දශම 4යි 7ක්, නැගෙනහිර පළාතේ සියයට 74යි දශම 2යි 6ක් සහ මධ්‍යම පළාතේ සියයට 73යි දශම 9යි 1ක් සමත් වී තිබෙනවා.

සබරගමුව පළාතේ සියයට 73යි දශම 4යි 4ක්, ඌව පළාතේ සියයට 73යි දශම 1යි 4ක්, වයඹ පළාතේ සියයට 71යි දශම 4යි 7ක් සහ උතුරු මැද පළාතේ සියයට 70යි දශම 2යි 4ක් සමත් වී ඇති අතර අවම සිසුන් පිරිසක් සමත් වී ඇත්තේ උතුරු පළාතේයි.

එම ප්‍රතිශතය සියයට 69යි දශම 8යි 6ක්.

විෂයන් ලෙස ගත් කල, ඉංග්‍රීසි විෂය සියයට 73යි දශම 8යි 2ක්, විද්‍යාව විෂය සියයට 71යි දශම 0යි 6ක් සහ ගණිතය විෂය සියයට 69යි දශම 0යි 7ක පිරිසක් සමත් වී ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ.

ඇය සඳහන් කළේ මෙවර ප්‍රතිඵල අනුව දිවයිනේ පළමු, දෙවන, තුන්වන යනුවෙන් ස්ථාන ප්‍රකාශය කිරීමක් සිදු නොවන බවයි.

එළඹෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ මේ වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල වකවානු සම්බන්ධයෙන් ද විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය මෙහිදී අදහස් පළ කළා.

2024 – 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ කටයුතු සඳහා ජූලි මස 14 වනදා සිට 28 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට හැකි වනවා.