දිවයිනට බලපෑ ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ, විදෙස් රටවලින් ලැබෙන මානුෂීය සහන ආධාර කඩිනමින්, සාධාරණව හා විනිවිදභාවයකින් යුත් ක්‍රමවේදයක් ඔස්සේ හැසිරවීම සහ බෙදාහැරීම සහතික කිරීම සඳහායි.
මෙම ක්‍රියාවලිය මගින් විදේශීය රාජ්‍යයන්, රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සමාජීය සංවිධාන හා අනෙකුත් දායකයින්ගෙන් ලැබෙන ආපදා සහන ද්‍රව්‍ය හා පහසුකම් නිසි ක්‍රමවේදයකට අනුව හා වගකීමෙන් යුතුව විපතට පත් ජනතාව වෙත ලබා දීම සහතික කරන බවයි ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ.
ඒ ඔස්සේ විදේශීය රටවලින් මෙරටට ලබාදුන් විවිධ ආපදා සහන සැපයුම් සැකසීම, වෙන් කිරීම හා නිරීක්ෂණය සඳහා ජාතික සම්බන්ධීකරණ අධිකාරිය ලෙස කටයුතු කරනු ඇති.
ඒ ඔස්සේ ජාතික, පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ග්‍රාම නිලධාරී මට්ටම් දක්වා වූ සියලුම පරිපාලන ස්ථර හරහා විධිමත් ලෙස ආපදා සහන සේවා සැපයුම් ක්‍රියාවලිය නිසි පරිදි ක්‍රියාත්මක වන බව තහවුරු කරනු ලබන බවයි ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ.
ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ පළාත් මට්ටම්වලින් ඉදිරිපත් කරන ලද තක්සේරු මත ගොඩනැඟුණු මෙම දත්ත පද්ධතිය, සැපයුම් යැවිය යුත්තේ කොතැනටද සහ කෙසේද යන්න තීරණය කිරීම සඳහා මූලික පදනම සකස් කිරීමද මේ යටතේ සිදුවනවා.
ඒ අනුව කමිටුව මගින් එකම ආධාර එකම ස්ථානයක් වෙත නැවත නැවතත් ලැබීම වැළැක්වීම, ප්‍රමාදයන් අවම කිරීම, අඩු ලුහුඬුකම් ආමන්ත්‍රණය කිරීම සහ විශේෂයෙන්ම කුඩා දරුවන්, වැඩිහිටියන් සහ ආබාධිත පුද්ගලයන් ඇතුළු වඩාත් අවදානමට ලක්විය හැකි ජන කොටස් වෙත ප්‍රමුඛතා ලැබෙන පරිදි ලබාදීමට අවධානය යොමු කිරීම සහතික කරනු ඇති.
මෙහෙයුම් ක්‍රියාවලිය තුල, විදේශීය භාණ්ඩ තොග භාරගැනීම, එම භාණ්ඩ ලේඛනගත කිරීම, තත්ත්ව සහතික කිරීමේ ක්‍රියාවලීන්, ගබඩා කිරීම, වෙන් කිරීම සහ බෙදා හැරීමේ ක්‍රියා පටිපාටි කමිටුව විසින් අධීක්ෂණය කිරීමට නියමිතයි.


