අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා මේ දක්වා සිදු වූ මරණ ගණන 180ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පුද්ගලයින් 350කට වැඩි පිරිසක් මේ වනවිටත් අතුරුදන් වී ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වන විට ආපදාවට පත් වූ පුද්ගලයින් ගණන 17,295ක් බවයි පොලීසිය පැවසුවේ.

පුද්ගලයින් 8,669 දෙනෙකු කැලණිය ප්‍රදේශයේ ආපදාවට පත්ව තිබෙනවා.

මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්කවල පුද්ගලයින් 12,640ක් මේ වන විට අවතැන් වී තිබෙනවා.

පුද්ගලයින් 94කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර 176 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර අලවතුගොඩ පොලිස් වසමේ, අංකුඹුර අලවතුගොඩ මාර්ගයේ රඹුක් ඇල ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇති බව පොලීසිය පවසනවා.

කොත්මලේ, රම්බඩගම ආසන්නයේ නායයෑමක් සිදුව තිබෙනවා.

නුවරඑළිය - පූඬළුඔය මාර්ග දෙක අතර රම්බඩගම ගම්මානය මැද කොටස මෙලෙස නායගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම ස්ථානයේ නායයෑම හේතුවෙන් සිරවී සිටින පුද්ගලයින් බේරා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන් යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

කෙසේවෙතත් එම ප්‍රදේශයේ සහ අදාළ ස්ථානයේ පවතින තත්ත්වය හමුවේ එම ස්ථානයට ළඟා වීම අසීරු තත්ත්වයක පවතින බවයි වාර්තා වන්නේ.

නුවරඑළිය, පූඩළුඔය ප්‍රදේශයේද නායයෑමක් සිදුව තිබෙනවා.

වරකාපොළ පොලිස් වසමේ තුල්හිරිය මොන්රෝවියා වත්ත ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබෙනවා.

නාය යෑමෙන් පුද්ගලයින් 21 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බවයි පොලීසිය පැවසුවේ. ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වනවා.

ගම්පොළ, වැලිගඟ ඉහළගම ප්‍රදේශයේ නිවාස 18ක් නායගොස් තිබෙනවා.

එම ප්‍රදේශයේ පවුල් 50කට ආසන්න සංඛ්‍යාවක් සිටි බවයි පොලීසිය පැවසුවේ.

පන්නල පොලිස් වසමේ නාලවලාන ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක් ජල ගැල්මට හසුවීමෙන් එහි සිටි පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 14 දෙනෙකු ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් බේරාගෙන තිබෙනවා.

මේ අතර ගම්පහ ප්‍රදේශයේ ළිඳකට වැටීමෙන් මවක් සහ දියණියක් ජීවිතක්‍ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

කිරිඳිවැල ප්‍රදේශයේ ඔරු පැදීමට ගොස් වයස අවුරුදු 17ක ළමුන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වන්නේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබූ නාය යෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා.

බදුල්ල, මහියංගණය, මහනුවර, නුවරඑළිය, තලවකැළේ යන ප්‍රදේශවලට අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලිය විසන්ධි වී තිබෙනවා.

මේ අතර, පවතින ජල ගැලීම් හේතුවෙන් කළුතර මෝය කට පුළුල් කිරීමට පියවර ගෙන තිබෙන බව පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

මේ අතර, මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග 168ක ගමනාගමන කටයුතුවලට තවදුරටත් බලපෑම් එල්ල වී තිබෙනවා.

එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ පස්කදු කඩා වැටීම්, ගල් පෙරලීම්, ගංවතුර ගැලීම් හේතුවෙන් එම මාර්ගවල ගමනාගමනයට බලපෑම් එල්ල වී ඇති බවයි.

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් කණ්ඩම්බි මහතා.