අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට ලක්ව සිටින මෙරට පුද්ගලයින් බේරා ගැනීම සඳහා ඉන්දීය සහ පකිස්ථාන හෙලිකොප්ටර් යානා අද දිනයේද මෙහෙයුම්වල නිරත වුණා.

ඉන්දිය ගුවන් හමුදාවට අයත් M I 17 හෙලිකොප්ටර් යානයක් මගින් කොත්මලේ නුවරඑලිය ප්‍රදේශයේ සිරවි සිටි පුද්ගලයින්ට වියළි ආහාර කිලෝ 1,844ක පමණ ප්‍රමාණයක් බෙදා හැර තිබෙනවා.

අදාළ ස්ථානයේ සිට තුවාල ලැබූ පුද්ගලයින් හා දරුවන් පිරිසක් බේරා ගෙන එම හෙලිකොප්ටර් යානය මගින් ආරක්ෂිතව කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන ඒමටද පියවර ගෙන තිබෙනවා.

මේ අතර, පකිස්ථානු නාවික හමුදාවට අයත් හර්බින් Z-9 හෙලිකොප්ටරයක් යානයක් මගින් කොලොන්නාව, වැල්ලම්පිටිය, ගම්පහ යන ප්‍රදේශවල මුදා ගැනීමේ මෙහෙයුම්වල නිරත වුණා.

එම මෙහෙයුම්වලදී පුද්ගලයින් 04 දෙනෙකු බේරා ගෙන ආරක්ෂිත ස්ථාන කරා ගෙන එන ලද අතර අවතැන් වූ ජනතාව වෙත වියළි සලාක බෙදා දීමද සිදු කර තිබෙනවා.

අයහපත් කාලගුණ තත්ත්වයන් හමුවේ දිවයින පුරා ක්‍රියාත්මක වන සහන සේවා හා මුදවා ගැනීම් මෙහෙයුම් අඛණ්ඩව ඉටු කරමින් සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාව, අද දින රත්මලාන ගුවන් හමුදා කඳවුරෙන් සීගිරිය ගුවන් හමුදා කඳවුර වෙත Y-12 ගුවන් යානය මගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා සනීපාරක්ෂක ද්‍රව්‍ය ප්‍රවාහනය කර තිබෙනවා.

මෙම මෙහෙයුම් සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා නියෝජනයද කැපී පෙනෙන ලක්ෂණයක් වී තිබුණා.