රත්මලානේ දී ඊයේ පස්වරුවේ අණ නොතකා ධාවනය කළ වෑන් රථයේ රියදුරු බීමතිත් වෑන් රථය පදවා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

අදාළ වෑන් රථය පස්වරු 5යි 25ට පමණ පිළියන්දල සුවාරපොළ ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර, මොරටුව කටුබැද්ද හරහා පැමිණෙමින් තිබියදී බස්නාහිර දකුණ රථවාහන කොට්ඨාසයට අනුයුක්ත රථවාහන නිලධාරීන් රථය නවත්වන ලෙසයි දැනුම් දී ඇත්තේ.

එහෙත් එම රියදුරු අණ නොතකා රථය ධාවනය කර ඇති අතර, ඒ හේතුවෙන් පොලිස් නිලධාරීන් අදාළ වෑන් රථය පසුපස හඹා ගොස් තිබෙනවා.

රත්මලාන බෙලෙක්කඩේ හංදිය ප්‍රදේශයේදී රථයේ ඉදිරිපස රෝදයට හා පසුපස රෝදයකට පොලීසිය වෙඩිතබා ඇති අතර, එහිදී ද රථය නොනවත්වාම ධාවනය කිරීමටයි එම රියදුරු කටයුතු කර ඇත්තේ.

කෙසේවෙතත් රත්මලාන දුම්රියපොළ ඉදිරිපිට දී වෑන් රථයේ රියදුරු රථය නවත්වා පලායෑමට උත්සාහ දරා තිබෙනවා.

පසුව ඔහු බිම ඇද වැටීමෙන් මුඛය ආසන්නයේ තුවාල සිදුව ඇති අතර ඔහු අත්අඩංගුවට කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය පැවසුවේ.

ඔහු ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි සංචාරක ප්‍රවාහන කුළී ගමන් රියදුරෙක් බවටයි සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුනු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා.