2025.12.11 වන දින සපුගස්කන්ද පොලිස් වසමේ ගල්වල හන්දියේ සිට පවර් හවුස් හන්දිය දක්වා දිවෙන මාර්ගයේ දෙණිමුල්ල හන්දිය ආසන්නයේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක සපුමල් රන්වල මහතා විසින් පදවන ලද ජිප් රථය යතුරු පැදියක හා කාර් රථයක ගැටී අනතුරක් සිදුව තිබුණා.

මෙම රිය අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් නිසි පරිදි රාජකාරී කටයුතු සිදුකර ඇත්තේද යන්න පිළිබඳව පොලිස්පතිතුමාගේ නියමයෙන් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් විමර්ශනයක් සිදු කරනු ලැබුවා.

එම විමර්ශනයේදී සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා, අනතුර සම්බන්ධයෙන් විමර්ශනය සිදු කල රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් හා සපුගස්කන්ද පොලිස් ස්ථානය අධීක්ෂණය කරනු ලබන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන් විසින් රාජකාරි පැහැර හැරීමක් සිදු කර ඇති බවට නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ අනුව එම නිලධාරීන්ට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් මූලික විමර්ශනයක් ආරම්භ කර විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිතුමා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.