පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතා රිය අනතුරට ලක්වූ අවස්ථාවේ, ඔහු මත්පැන් පානය කර ඇති බවට සනාථ වී නොමැති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා.

අශෝක රන්වල මහතාගේ රුධිර සහ මුත්‍රා සාම්පලවලට අදාළව සිදුකළ පරික්ෂණයේදී ඔහු මත්පැන් පානය කර ඇති බවට තහවුරු වී නොමැති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පසුගිය 11 වනදා හිටපු කථානායකවරයා ගමන්ගත් ජීප් රථය තවත් මෝටර් රථයක ගැටී සපුගස්කන්ද, දෙණිමුල්ල හන්දිය ප්‍රදේශයේදී අනතුරකට ලක්වුණා.

අනතුරින් මෝටර් රථයේ ගමන් කළ කාන්තාවක්, ඇයගේ බිළිඳිය සහ තවත් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

එම අනතුරට අදාල නඩුව ජනවාරි මස 16 වන දින මහර මහේස්ත්‍රාත් අධිකරණයේදී නැවත කැඳවීමට නියමිතයි.