රාගම ප්‍රදේශයේදී පසුගිය 14 වනදා තියුණු ආයුධවලින් පරදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, රාගම පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරක් මත රාගම, පොල්ගහහේන හන්දිය අසලදී සිදුකල වැටලීමකදීයි.

සැකකරු වයස අවුරුදු 21ක් වන පොල්ගහහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

මේ අතර මිහින්තලය, මහකනදරාව වැව් ඉස්මත්තෙන් ගවයින් සිටින ගාලකට යන මාර්ගයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.

වයස අවුරුදු 60ක් පමණ වන මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවයි පොලීසිය පැවසුවේ.

මරණකරු නිල් පැහැති සරමක් සහ කහ පැහැති කමිසයක් හැඳ සිට තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.