එංගලන්තයේ තුන්වැනි චාල්ස් රජුගේ බාල සහෝදරයා වන ඇන්ඩෲ කුමරුගේ ‘කුමරු’ පදවිය අහිමි කිරීමට බකිංහැම් මාලිගය කටයුතු කර තිබෙනවා. ඒ, ඔහු යෝර්ක් ආදිපාද තනතුර අත්හැරීම හේතුවෙන්. ඒ අනුව ඇන්ඩෲ කුමරුට 2004 වසරේ සිට ඔහු ජීවත් වූ වින්ඩ්සර් මාලිගය පවා හැර යාමට සිදුවනවා. එමෙන්ම මින් ඉදිරියට ඇන්ඩෲ කුමරුව, ඇන්ඩෲ මවුන්ට්බැටන් වින්ඩ්සර් ලෙසින් හඳුන්වන බවට චාල්ස් රජු අණකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ළමා අපචාර චෝදනා ලැබූවෙකු වන මේ වන විට ජීවතුන් අතර නොමැති අමෙරිකානු ජාතික ජෙෆ්රි එප්ස්ටෙයින් සමග සබඳතා පැවැත් වූ බවට ඇන්ඩෲ කුමරුට වසර ගණනාවක සිට චෝදනා එල්ල වී තිබුණා. එමෙන්ම පසුගිය වසරේ ලබාදුන් අධිකරණ තීන්දුවක් මගින් ඇන්ඩෲ කුමරුගේ සමීප ව්‍යාපාරික සගයෙකු, චීන ඔත්තුකරුවකු බවට ද හෙළි වී තිබුණා. ඒ හේතුවෙන් මෙම මාසයේදී යෝර්ක්හි ආදිපාද ධුරය හැරීමටයි ඔහු කටයුතු කළේ.
ඇන්ඩෲ කුමරු පවසා ඇත්තේ තමන්ට දිගින් දිගටම එල්ල වන චෝදනා හේතුවෙන් සිය සහෝදරයා වන චාල්ස් රජුගේ සහ රාජකීය පවුලේ කටයුතුවලට ද බලපෑම් එල්ල වන බවයි.