රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා ලබාදීමට අපේක්ෂා කරන වාහන කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාට හිමි නොවන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ දැනට රජයෙන් වාහන ලබාදී සිටින පිරිසට එම නව වාහනවල අවශ්‍යතාවයක් නොමැති බවයි.

පසුගිය දා අයවැය කතාව පවත්වමින් ජනාධිපතිවරයා විසින් රාජ්‍ය සේවය සඳහා කැබ් රථ 1,775ක් ගෙන්වීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශ පිළිබඳ මාධ්‍යවේදීන් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර පාර්ලිමේන්තු පර්මිට් සංස්කෘතියට විරුද්ධව අතීතයේ කතා කළ පිරිස අද වන විට එය අගය කිරීමට කටයුතු කරන බවද කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී පැවසුවා.

වාහන ආනයන කිරීමේ ටෙන්ඩර් සම්බන්ධයෙන් ඇතිවන ගැටලු පිළිබඳව ද කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී කරුණු පැහැදිලි කළා.