අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අගෝස්තු මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නොතිසි නිකුත් කළා. අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60(1) වගන්තිය යටතේ "ප්රකාශනයක්" නිකුත් කරමින් මෙම නොතීසිය නිකුත් කරනු ලැබුවා. අල්ලස් කොමිසම විසින් ගොනු කළ මෝසමකට අනුව මෙම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී අල්ලස් කොමිසමේ දූෂණ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක එම්. විමලරත්න මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුකෙරුණා. අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්යක්ෂ ජෙනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් පොලිස් පරීක්ෂක විමලරත්න මහතා 2013 වසරේ ඔක්තෝබර් මස 25 වන දා කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු "සී වූ " නමැති කොරියානු සමාගමකට පැවරීමේදී සිදුවී ඇති අවිධිමත් ක්‍රියා සම්බන්ධයෙන් ලැබුණු නිර්නාමික පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව සඳහන් කළා. කිරින්ද ධීවර වරායේ වැලි ඉවත්කර ඒවා පිරිසිදු කර වෙළෙඳපොළට මුදා හැරීමේ ව්‍යපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා කොරියානු සමාගමකට විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව ලබාදීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262 ක පාඩුවක් සිදුවූ බව එම පැමිණිල්ල තුළින් සඳහන් කර තිබූ බවත් පොලිස් පරීක්ෂකවරයා සඳහන් කර සිටියා. ඒ අනුව විමර්ශන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව එහි සැකකරුවන් වශයෙන් ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එවක ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රාජිත සේනාරත්න යන මහත්වරු හඳුනා ගත් බවත් ඔහු පැවසුවා. ඉන්න අනතුරුව කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව මෙම නඩු කරයේ පළමු සැකකරු වශයෙන් හඳුනාගත් උපාලි ලියනගේ නමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවත් ඔහු සඳහන් කර සිටියා. නමුත් මෙම නඩුකරයේ දෙවන සැකකරු වන රාජිත සේනාරත්න මහතාට ප්‍රකාශයක් ලබාදීම සඳහා ජුලි මස 02 වනදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඉකුත් ජුනි මස 25 වනදා ලිපියක් යොමු කළ බව ඔහු කියා සිටියා. එහෙත් ප්‍රකාශයක් ලබාදීම සඳහා කොමිසම හමුවේ පෙනී නොසිටි රාජිත සේනාරත්න මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අසනීප බව සඳහන් කරමින් සාවද්‍ය වෛද්‍ය වාර්තාවක් වශයෙන් සැලකිය හැකි බෙහෙත් වට්ටෝරුවක් පමණක් කොමිසමට ඉදිරිපත් කර තිබූ බව ඔහු පැවසුවා. මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාදීම රාජිත සේනාරත්න මහතා දිගින් දිගටම මගහරිමින් සිටීම හේතුවෙන් අල්ලස් කොමිෂන් සභාවෙන් ලබාගත් සෝදිසි වරෙන්තු දෙකක් මත තලාහේන, කොළඹ ඇන්ඩසන් පාර, ඇල්විටිගල මාවත, නුගේගොඩ සහ බේරුවල යන ප්‍රදේශවල පිහිටි ස්ථාන පහක් පරීක්ෂාවට ලක් කලද ඔහු සොයා ගැනීමට නොහැකි වූ බවත් පොලිස් පරීක්ෂකවරයා සාක්ෂි දෙමින් කියා සිටියා. එමෙන්ම රාජිත සේනාරත්න මහතාගේ සහ ඔහුගේ සමීපතයින්ගේ ජංගම දුරකථන අංක යොදා ගනිමින් බුද්ධි අංශ හරහා විමර්ශනයක් සිදු කළත් ඔහු දෛනිකව භාවිත කළ දුරකථනය විසන්ධි කර තිබූ බවත් ඔහු සඳහන් කර සිටියා. මෙම සැකකාර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නොහැකිවීම නිසා මෙම නඩුකරයට අදාළ විමර්ශනය අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60(1) වගන්තිය යටතේ සැකකාර රාජිත සේනාරත්න මහතාට ප්‍රකාශයක් ලබාදෙන ලෙස බල කරන ප්රකාශනයක් නිකුත් කරන ලෙසත් සාක්ෂිකරු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉන් අනතුරුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර සම්පත් පුෂ්පකුමාර මහතාද සාක්ෂි ලබාදීම සිදුකළා. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාද සාක්ෂි දෙමින් සඳහන් කළේ සැකකාර රාජිත සේනාරත්න මහතාගේ සහ ඔහුගේ බිරිඳගේ ජංගම දුරකථන අංක ඔස්සේ විමර්ශන සිදු කළත් ඒවා විසන්ධි කර තිබූ බව සඳහන් කර සිටියා. අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 (1) වගන්තිය ප්‍රකාරව ප්රකාශනයක් නිකුත් කරමින් සැකකාර රාජිත සේනාරත්න මහතාට අගෝස්තු මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස නියෝග කලා. මේ අතර අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60(1) වගන්තිය යටතේ සැකකාර රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් අධිකරණය විසින් අද දින නිකුත් කළ "ප්රකාශනය" අධිකරණයේ සහ ඔහු පදිංචිව සිටින ස්ථානවල අලවා ප්‍රදර්ශනය කිරීමට නියමිත බවත් වාර්තා වෙනවා.
Published