අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා  බන්ධනාකාර නිලධාරීන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ මහතාව ලබන 09  වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා සැකකාර රාජිත සේනාරත්න මහතා ලබන 03 වනදා පෙරවරු 9.00 ට අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක. එස්. බෝදරගම මහතා බන්ධනාගාර නිලධාරීන්ට නියම කළා.
කොළඹ මහාධිකරනයේ නියෝග මත රිමාන්ඞ් භාරයට ගන්නා ලද සැකකාර රාජිත සේනාරත්න මහතාව බන්ධනාගාර නිලධාරීන් විසින් මෙම  නඩුකරය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවදියේ 2013 වසරේ ලැබුණු නිර්ණාමික පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව සඳහන් කළා.
කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කර ඒවා පිරිසිදු කර වෙළඳපොළට නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් කොරියානු" සී වූ" සමාගම වෙත පැවරීමට මෙම සැකකරු කටයුතු කර තිබූ බව එම පැමිණිල්ලේ සඳහන් කර තිබු බවත් සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් වරිය පැවසුවා.
පොදු මූල්‍ය රෙගුලාසි වලට අනුව මෙවැනි සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෙර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවකින් අනුමැතියක් ලබාගෙන එය යම් සමාගමකට පවරනවාද? නැද්ද? යන්න තීන්දු කරනු ලබන්නේ  විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් බව පෙන්වා දුන් සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය එහෙත් මෙම සැකකරු විෂය භාර අමාත්‍යවරයා වශයෙන් නීත්‍යානුකූල අනුමැතියෙන් ලබා ගැනීමකින් තොරව "Approved" යනුවෙන් සඳහන් කරමින් අනුමැතිය ලබාදී ඇති බවත් සඳහන් කළා.
මෙවැනි ව්‍යාපෘතියකට අනුමැතිය ලබාදීමට පෙර පාරිසරික අධ්‍යයන ඇගැයීම් වාර්තා මෙන්ම ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාගත යුතු වුවත් මොහු විෂය භාර අමාත්‍යවරයා වශයෙන් සිය නිලබලය අයුතු ලෙස පරිහරණය කරමින් අත්නෝමතික මෙන්ම තනි කැමැත්තට කටයුතු කරමින් මෙම ව්‍යාපෘතිය අදාල කොරියානු සමාගම වෙත පැවරීමට කටයුතු කර ඇති බවත් සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය පෙන්වා දුන්නා.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසුව අදාළ කොරියානු සමාගමට එය ක්‍රියාත්මක කිරීම සඳහා මූලික පාසුකම් නොතිබූ බවත් අවසානයේදී ධීවර වරාය නීතිගත සංස්ථාව සතුව තිබූ වැලි කැණීම් සඳහා යොදා ගන්නා "වැලි ගෝව්වා" නැමති නෞකාවත් එම සමාගම වෙත ලබාදීමට කටයුතු කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බවත් ඇය පෙන්වා දුන්නා.
මේ තුළින් රජයට රුපියල් ලක්ෂ 262 කට අධික පාඩුවක් මෙම සැකකරු විසින් සිදුකර ඇති බවට විමර්ශන වලින් කරුණු අනාවරණය වූ බවත් ඇය කියා සිටියා.
මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ජූලි මස දෙවනදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මෙම සැකකරුට දැනුම්දීම් සිදු කළත් ඔහු අසනීප බව සඳහන් කරමින්  කොමිසම හමුවට නොපැමිණි බවත් වෛද්‍ය වාර්තාවක් වෙනුවට ඔහු විසින් බෙහෙත් වට්ටෝරුවක් කොමිසමට එවා තිබූවත් ඇය කියා සිටියා.
ඉන් අනතුරුව ඔහු විසින් අපේක්ෂිත ඇප අයදුම් පත්‍රයක් කොළඹ මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එය මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කළ බවත් පසුව ඔහු එම තීරණයට එරෙහිව කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළ බවත් සහකාර අධ්‍යක්ෂ ජෙනරල්වරිය පෙන්වා දුන්නා.
එම ප්‍රතිශෝධන පෙත්සමට අදාළව මහාධිකරණය විසින් නොසීසි පමණක් නිකුත් කළ අතර සැකකරු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් කිසිදු අතුරු නියෝගයක් නිකුත් නොකළ බවයි ඇය අධිකරණයට පෙන්වා දුන්නේ.
ඉන් අනතුරුව මෙම සැකකරු විමර්ශනවලට සහාය නොවී මගහරිමින් සිටින නිසා අගෝස්තු මස 12 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙතින් වරෙන්තුවක් ලබාගත් බවත් ඇය සදහන් කළා.
සැකකරු කොමිසම හමුවට පැමිණ ප්‍රකාශ ලබාදීම වෙනුවට කොමිසම සහ අධිකරණය මගහරිමින් ඔහුගේ පුත්‍රයා සහ වෙනත් සහාය දක්වන පිරිස් ලවා මාධ්‍ය ප්‍රකාශ නිකුත් කළ බවත් මේ හේතුවෙන් විමර්ශන කටයුතු ඉදිරියට කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වූ බවත් ඇය කියා සිටියා.
ඒ අනුව මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණයෙන් ඉල්ලීම් කළා.
ඉන් අනතුරුව අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මගින් වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව ඔහු රැඳී සිටි බව ස්ථාන පහක් පරීක්ෂාවට ලක් කළත් ඔහු සොයා ගැනීමට නොහැකි බවයි.
මෙම කටයුතු සිදු කරන අතර වාරයේ සැකකරු විසින් වෛද්‍ය බෙල්ලන මහතාගේ වාර්තාවක් කොමිසම වෙත එවා තිබූ බවත් එම නිලධාරියා පැවසුවා.
ඉන් අනතුරුව සැකකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා අධිකරණය මගහරිමින් කටයුතු කළ බවට අල්ලස් කොමිසම විසින් එල්ල කරන චෝදනා, තරයේ ප්‍රතික්ෂේප කරන බව කියා සිටියා.
සිය සේවා දායකයා අසනීප තත්ත්වයෙන් පසුවීම නිසා ජූලි මස දෙවනදා අල්ලස් කොමිසම හමුවට ගොස් ප්‍රකාශ ලබාදීමට නොහැකි වූ බවත්  ඔහු ඒ බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.
යම් පුද්ගලයෙකු අපේක්ෂිත ඇප ඉල්ලා සිටීම නීතියෙන් ඔහුට පැවරී ඇති අයිතිවාසිකමක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එම අයිතිවාසිකම භුක්ති විඳීම අධිකරණය මගහැරීමක් ලෙස ප්‍රකාශ කළ නොහැකි බවත් පැවසුවා.
විමර්ශනවලට අවශ්‍ය යම් පුද්ගලයෙකු අපේක්ෂිත ඇප ඉල්ලීම අධිකරණය මගහැරීමක් ලෙස අර්ථ කථනය කරනවා නම් ඇප පනත අවලංග කළ යුතු බවයි ඔහු කියා සිටියේ.
ප්‍රශ්නගත මෙම ව්‍යාපෘතියට අනුමැතිය ලබා දෙන අවස්ථාවේදී ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවෙන් අනුමැතිය ලබාගත යුතු බවට නීතියක් නොපැවැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ වරයා මෙය වසර දොළහකට පමණ පෙර ආරම්භ වූ විමර්ශනයක් බවත් මෙම සැකකරු සාක්ෂිකරුවන්ට තර්ජන හෝ බලපෑම් කළ බවට කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බවත් සඳහන් කළා.
ඉකුත් ජුනි මස 27 වන දායින් පසු ඉදිරිපත් කළ බී වාර්තා කිසිවක අලුතින් සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන නොමැති අතර මේ තුළින් ඒම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී ඇති බව මනාව පැහැදිලි වන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
ඒ අනුව මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශන මේ වනවිට අවසන් වී ඇති බැවිනුත් සැකකරු සාක්ෂිකරුවන්ට තර්ජන හෝ බලපෑම් සිදුකර ඇති බවට පැමිණිලි ඉදිරිපත් වී නොමැති නිසා ඔහු ඕනෑම  කොන්දේසියක් සහිතව ඇප මත මුදා හරින්නැයි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ ඉල්ලා සිටියා.
දෙපාර්ශය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් "සැකකරුවකුට නීතියෙන් නියම කර ඇති අයිතිවාසිකම් භුක්ති විඳීමට හැකියාව තිබෙනවා. 
ඒ අයිතිවාසිකම අධිකරණය පිළිගන්නවා.
නමුත් මෙම සැකකරු මුල් අවස්ථාවේ සිට මේ දක්වා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට නොමැති බව අධිකරණයට පෙනී යනවා.
ඔහු විමර්ශනය වලට සහාය ලබා නොදීම නිසා අපරාධ නඩු විධාන සංග්‍රහයේ පස්වන පරිච්ඡේදය යටතේ පියවර ගැනීමට අල්ලස් කොමිසමට සිදු වී තිබෙනවා.
මෙම වාතාවරණය යටතේ සැකකරුට ඇප ලබා දුනහොත් විමර්ශන කටයුතු වලට සහාය ලබාදෙනු ඇතැයි විශ්වාස කරන්න බැහැ.
එසේ වූවොත් විමර්ශන වලට බාධා සිදුවිය හැකි බව පෙනී යනවා" යනුවෙන් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා අනතුරුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.