හම්බන්තොට කුරුලු උද්‍යානයේ තිබී සොයා ගන්න ලද නීති විරෝධී ලෙස ආනයනය කරන ලද සුඛෝපභෝගී මෝටර් බයිසිකල් 21 ක් සන්තකයේ තබාගත්තේ යැයි සැකපිට තමන්ව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගෙන තිබෙන තීරණයට එරෙහිව එම උද්‍යානයේ හිමිකරු වූ අජිත් ගාල්ලගේ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 05 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
මෙම පෙත්සම අද අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම මෝටර් බයිසිකල් මහා මාර්ගයේ භාවිතා කිරීමේ චේතනාවෙන් ගෙන්වන ලද බයිසිකල් නොවන බව ප්‍රකාශ කළා.
මෝටර් රථ පනතට අනුව මෙම චෝදනාව ඇප ලබා දිය හැකි වරදක් බවත් ඔහු කියා සිටියා.
මෙම සිද්ධියට අදාළ නඩුව හෙට දින හම්බන්තොට මහේස්ත්‍රත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙන බවත් එහිදී සිය සේවා දායකයා වෙනුවෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
ඒ අනුව අදාල ඇප ඉල්ලීම හෙට දින මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදු කරන ලෙස දැනුම් දුන් විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 05 වනදා කැඳවන ලෙසත් නියම කළා.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.