රක්‍ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. වැලිකඩ බන්ධනාගාර රෝහලේ වාට්ටු 06ක් ස්ථාපිතයි. එම වාට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ලබන සමස්ථ රැඳවියන් සංඛ්‍යාව 350කට අධික බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයේ සිට ඊයේ රාත්‍රියේ පළමුව රැගෙන එනු ලැබුවේ මැගසින් බන්ධනාගාරය වෙතයි. එහිදී රැඳවියෙකු ලෙස ඔහු ලියාපදිංචි කිරීමෙන් පසුව බන්ධනාගාර වෛද්‍යවරයකු විසින් ඔහු පරීක්ෂා කර තිබෙනවා. එහිදී අනාවරණ වී ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ අධිරුධිර පීඩන තත්ත්වය ඉහළ ගොස් ඇති බවයි. එම වෛද්‍යවරයා ඒ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව ලබාදුන් උපදෙස් මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරයා ඊයේ රාත්‍රියේ එම රෝහලේ වාට්ටුවකට ඇතුළත් කර නැහැ. ඒ, ඔහුගේ ආරක්‍ෂාව පිළිබද සැලකිල්ලට ගනිමින්. ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාර රෝහලේ ජේලර්වරයාගේ විවේක කාමරයේ රැඳවු බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. එම විවේක කාමරයේ ඇඳක් සහ ඔහුට විශේෂ ආරක්‍ෂාවක් ලබාදී තිබෙනවා. බන්ධනාගාරය තුළදී සැකකරුට අවශ්‍ය ආරක්ෂාව සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන ලෙසද කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ද නියෝග කර තිබුණා. මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අද දිනයේ විශේෂඥ වෛද්‍යවරයෙකු පරීක්‍ෂා කිරීමට නියමිතව තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ රාත්‍රියේ නියෝග කළා. සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුර කාලයේදී රජයේ මුදල් භාවිත කරමින් පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයට අදාළවයි.