රක්ෂිත බන්ධනාගාර ගත කළ බන්ධනාගාර රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටිනවා. එම බන්ධනාගාරයේ ‘එම් වන්’ වාට්ටුවේ තවත් රැඳවියන් 10 දෙනෙකු සමඟ ඔහු රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. පසුගිය දා රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා රඳවා සිටින්නේ ද එම වාට්ටුවේ බව බන්ධනාගාර ආරංචි සඳහන් කළා. වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ඊයේ පස්වරුවේ රැගෙන ආ පසු ඔහු කොළඹින් පිට වෙනත් බන්ධනාගාරයක රැඳවීමට බන්ධනාගාර පරිපාලනය සූදානම්ව සිටියා. ඒ ඔහුගේ ආරක්ෂාව සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ තදබදය සැලකිල්ලට ගනිමින්. කෙසේ වෙතත් තමන්ට වෙනත් බන්ධනාගාරයකට යාමට අවශ්‍ය නොවන බවත් සෙසු රැඳවියන්ට ලබා දෙන පහසුකම් සහ ආරක්ෂාව ප්‍රමාණවත් බවත් වෛද්‍ය හේමන්ත රණසිංහ බන්ධනාගාර නිලධාරීන්ට පවසා ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ. බන්ධනාගාර රෝහලේ රඳවාගෙන ප්‍රතිකාර කිරීමට රැඳවියෙකුගෙන් අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත, බන්ධනාගාර රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේදීයි. අනතුරුව ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.