මෑත කාලීන ඉතිහාසයේ මෙරට සිදුවූ දරුණුතම ස්වභාවික විපත් අතරින් එකක් වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ අතිවිශාල හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් “රී බිල්ඩින් ශ්‍රී ලංකා” අරමුදල ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස පිහිටුවීමට නියමිත මෙම අරමුදලේ කළමනාකරණ කමිටුව රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විතයි.

කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා කමිටුවේ කැඳවුම්කරු ලෙස කටයුතු කරනවා.

විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු ඇමරිකාව සඳහා අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න, හේලිස් සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ සහ ජෝන් කීල්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන් එහි සාමාජිකයන් ලෙස කටයුතු කරනවා.

එයිට්කන් ස්පෙන්ස් උප සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක, බ්‍රැන්ඩෙක්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර්, එල් ඕ එල් සී සමාගමේ විධායක සභාපති ඉෂාර නානායක්කාර යන මහත්වරුන්ද එම අරමුදලේ කළමනාකරණ කමිටුව නියෝජනය කරන සෙසු සාමාජිකයින් වනවා.

අරමුදල ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ බලය කළමනාකරණ කමිටුවට හිමි වන අතර, අවශ්‍යතා තක්සේරු කිරීම, ප්‍රමුඛතා සැකසීම, අරමුදල් වෙන් කිරීම සහ අනුමත ප්‍රතිසාධන කටයුතු සඳහා මුදල් නිකුත් කිරීම එහි වගකීම් අතරට අයත්.

මෙම කමිටුව විසින් අරමුදලට අදාළ මූල්‍ය කළමනාකරණය, විගණනය සහ සියලු‍ම අරමුදල් ක්‍රියාකාරකම්වල පූර්ණ විනිවිදභාවය සහතික කරනු ඇති.

ඒ අනුව පරිත්‍යාගශීලීන්ට තම මුදල් ආධාර දේශීය හෝ විදේශීය ඕනෑම පුද්ගලයෙකුට, ශ්‍රී ලංකා රුපියල්වලින් හෝ ඕනෑම මුදල් ඒකකයකින් ලංකා බැංකුවේ එම අරමුදල නමින් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයාගේ නමින් ඇති ගිණුම වෙත බැර කළ හැකියි. එම ගිණුම් අංකය සහ පරිත්‍යාග යොමු කළ හැකි විදේශ මුදල් ඒකක ගිණුම් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු පහතින්