විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්‍යත් දුම්වැටි නැවත ආරෝපණය කිරීම සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු ඇසුරුම් තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළ‍ හරිත මාවත ඔස්සේ පිට කරගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින්. ඔහු ඩුබායි රාජ්‍යයේ සිට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු‍ 03ක් තුළ විවිධ වර්ගයේ දුම්වැටි 40,660ක් සහ විද්‍යත් දුම්වැටි ආරෝපණ ඇසුරුම් 33ක් සොයා ගත් බවයි රේගු නිලධාරීන් පැවසුවේ.

එලෙස සොයා ගත් දුම්වැටි සහ විද්‍යත් දුම්වැටි නැවත ආරෝපණය කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු ඩුබායිහි ආපන ශාලාවක සේවය කළ, කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක්.