යුක්‍රේනයට ආයුධ සැපයීම සම්බන්ධයෙන් නව සැලැස්මක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නේටෝ සාමාජික රටවල් හරහා යුක්‍රේනයට ඉහළ පෙළේ යුද උපකරණ ලබා දෙන බවටයි අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

නෝටෝ සංවිධානයේ මහලේකම් මාර්ක් රූටෝ අතර පැවති සාකච්ඡාවකින් පසු අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

ඒ අනුව ඩොලර් බිලියන ගණනක් වටිනා ඉහළ පෙළේ මිලිටරි උපකරණ හැකි ඉක්මනින් යුක්‍රේනය වෙත යවන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම දින 50ක් ඇතුළත යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමට රුසියාව එකඟ නොවන්නේ නම් දැඩි තීරුබදු පනවන බවටද අමෙරිකානු ජනාධිපතිවරයා තර්ජනය කර තිබෙනවා.

තමන් බොහෝ දේ සඳහා වෙළඳාම භාවිත කරන බවත් එය යුද්ධය සමථයකට පත් කිරීම සඳහාද සුදුසු බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

රුසියාවට සියයට සියයක තීරුබදු පැනවීමටත් රුසියාවෙන් ඉන්ධන මිලදී ගන්නා රටවලට ද්විතීයික සම්භාධක පනවන බවටත් අමෙරිකානු ජනාධිපතිවරයා තර්ජනය කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.